Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ආජන්ටිනියානුවෝ මෙසීට ආයාචනා කරති

ආජන්ටිනියානුවෝ මෙසීට ආයාචනා කරති

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක, හිට අඩියේම පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ ලයනල් මෙසීට තම තීරණය වෙනස් කරන්න’යි ඉල්ලා සිටිමින් දහස් ගණන් පාපන්දු ලෝලීහු ඊයේ (2 වැනිදා) ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර විදීවලට බැස උද්ඝෝෂණය කරන්නට වූහ.

කෝපා ඇමරිකා කුසලාන අවසන් මහ තරගයේදී චිලී පිල සමග පැවැති තරගයේදී ආජන්ටිනා පිල ලද පරාජය ඉවසාගත නොහැකි වූ ලයනල් මෙසී අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේය. මෙම තරගයේ සම්පූර්ණ තරග කාලයේදී දෙපිලම ලකුණ ලබා නොගත් හෙයින් ජයග්‍රාහකයන් තීරණය කිරීමට සිදුවූයේ දඬුවම් පහර වලිනි.

එහිදී චිලී පිල ජය  ගත්තේ ලයනල් මෙසී ගැසූ පළමු දඬුවම් පහර වැරදී යාම හේතුවෙනි.

අවසන් තරගයේදී ලයනල් මෙසීගේ ක්‍රීඩා විලාසය පිළිබඳව දිගින් දිගටම විවේචන එල්ල වූ අතර පාපන්දු පිටියෙන් සමුගැනීමට මෙසී තීරණය කළේ එවන් වටාපිටාවක් ගොඩනැඟමින් තිබියදීය.

වසර පහකදීම ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් කිරුළු පළන් ලයනල් මෙසී කෝපා ඇමරිකා පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් මහ තරග තුනකදීම ක්‍රීඩා කර තිබේ. එලෙසම 2014 ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත් ක්‍රීඩා කළ මෙසීට තිබූ විශාලතම කණගාටුව වූයේ අවසන් මහ තරග 4 දීම ක්‍රීඩා කළත් එයින් එකක් හෝ තම පිලට දිනා දීමට තමන් අසමත් වීමයි.

කෝපා අමරිකා අවසන් මහ තරගයෙන් අනතුරුව කඳුළු පිරි දෙනෙතින් ක්‍රීඩකයන් අතර වාඩිවී සිටි මෙසී “මේ කණ්ඩායමත් එක්ක මගේ ගමන මෙතැනින් ඉවරයි” යයි පසුව වාර්තාකරුවන්ට පැවසීය.

තත්ත්වය එසේ තිබුණද ආජන්ටිනාවේ ක්‍රීඩා ලෝලීන්ගේ බලකිරීම මත ආජන්ටිනා ජනාධිපති මොරිකෝ මැක්රි මහතා සහ ආජන්ටිනියානු පාපන්දු වීරයා වන ඩියාගෝ මැරඩෝනා ඉකුත් සෙනසුරාදා ‘ඔබ්ලෙසිකෝ’ සිහිවටන කුළුණ අසළට රැස්වූයේ මෙසීට සහයෝගය පළකිරීමේ අටියෙනි. බුවනෝර්ස් අයර්ස්හි පිහිටි ‘ඔබ්ලෙසිකෝ’ සිහිවටන කුළුණ ආජන්ටිනියානුවන් ක්‍රීඩා ජයග්‍රහණ සැමරීමට යොදාගන්නා පරසිඳු ස්ථානයකි.

ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩා ලෝලීන් ...                       (ඡායාරූප : රොයිටර් අනුග්‍රහයෙනි)

මහවැසි නොතකා එතැනට රැස්වූ දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් සුදු පෑ තීරුවක් දෙපසින් ලා නිල් පැහැ තීරු දෙකකින් යුත් ආජන්ටිනියානු ධජ වනමින් ලයනල් මෙසීගෙන් අයැද සිටියේ තීරණය වෙනස් කර නැවතත් ජාතික පාපන්දු කණ්ඩායමට එක්වන ලෙසයි.

අවසන් තරගයෙන් චිලී කණ්ඩායම ජයගත්තේ ලයනල් මෙසීගේ දඬුවම් පහර වැරැදීමේ හේතුවෙන් බව කියමින් ඔහු දැඩි විවේචනයට හසු කළ පුද්ගලයන්ව හෙළා දකින බවත් ‘ලා රෙඞ්’ රේඩියෝව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මැරඩෝනා කීවේය.

ජීවිතයේ කිසිදිනෙක පාපන්දුවට පා පහරක් නොදුන් පුද්ගලයන් මේ පාපන්දු තරුවේ ක්‍රීඩා විලාසයේ වැරැදි දකින්නේ කෙලෙසදැයි 1986 පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේ ජයග්‍රහණය දක්වා ආජන්ටිනාව මෙහෙයවූ මැරඩෝනා ප්‍රශ්න කරයි.

කෝපා අමෙරිකා අවසන් තරගයෙන් ආජන්ටිනාව පරාජයට පත්වූ බව සැබෑවකි. එහෙත් මැරඩෝනා කියන්නේ, “මම මෙසීව සළකන්නේ ජයග්‍රාහකයෙක් හැටියටයි” කියාය.

ආජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායම සමග රැඳී සිටින ලෙස මෙසීගෙන් ඉල්ලා සිටින්නට වූ ආජන්ටිනා ජාතිකයන් සමග එක්වී මැරඩෝනා ඊට පෙර කෑ ගැසූවත් පසුව ඔහුගේ හඬ වෙනස් විය.
“අපි මෙසීට නිවාඩුවේ ඉන්න ඉඩදෙමු... ඔහු කීවේය.

“දැන් ඉඳලා අපිට එකමුතුවයි තීරණයක් ගන්න වෙන්නෙ. මෙසී කිව්වොත් මට තවදුරටත් ඉන්න ඕනෙ නෑ කියලා, එතකොට අපිට තව කණ්ඩායමක් හදන්න වෙනවා” යයිද මැරඩෝනා කියයි.

එපමණක් නොව 1993 වසරේ කෝපා අමෙරිකා පාපන්දු කිරුළ ජයගැනීමෙන් පසුව සිය ජාතික කණ්ඩායමට කිසිදු ප්‍රධාන පෙළේ ශූරතාවක් දිනාගැනීමට නොහැකිවීම ගැනද මැරඩෝනා එරට පාපන්දු සංගමයටත් දෙහි කැපුවේය.

“අපේ පාපන්දු සංගමය වැඩ කරන විදිහ බැලුවම අපියි වැරැද්ද කරල තියෙන්නෙ... ඒකනේ දැන් අපේ පාපන්දු ක්‍රීඩාවට මේ දේ වෙලා තියෙන්නෙ. අපිට දැන් ඒවට ණය ගෙවන්න වෙලා” ඔහු කීවේය.

ආජන්ටිනාවේ පාපන්දු ලෝලීන්ට නම් ලයනල් මෙසී යනු හුදු පාපන්දු ක්‍රීඩකයකු නොවේ. ගීක දෙවොලක දෙවි කෙනකුට හිමි තත්ත්වයක් ආජන්ටිනාවේදී ලයනල් මෙසීට තිබේ.

“මෙසී කෙනෙක් බිහිවන්නේ වසර මිලියන 500 කට වරක් කියා ප්‍රකට කියමනක් තියෙනවා. අපි ඒ සතුට විඳිනවා. මේ කාලයේදී උපත ලැබීම ගැන අපි දෙවියන්ට ස්තුති කළ යුතුයි” යයි පාපන්දු ලෝලියකු වන සන්තියාගු බෝඩෙරෝ කියයි.

චිලී පිල හමුවේ පැවැති තරගය පරාජය වීමෙන් පසුව ආජන්ටිනාවට පැමිණි මෙසී තමන්ගේ උපන්ගම වන රොසාරියෝහි දින කිහිපයක් ගතකළේය. අනතුරුව නිවාඩුවක් ගතකිරීම සඳහා බහාමාස් බලා පිටත්ව ගිය මෙසීගෙන් මේ දක්වා කිසිම ප්‍රකාශයක් නිකුත් වී නැත.

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ මීළඟ තරගය වන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී උරුගුවේ පිලට එරෙහිව පැවැත්වෙන 2018 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගයකි. එම තරගයට පෙර මෙසී නැවතත් කණ්ඩායමට එක්වනු දැකීම ආජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ එකම අපේක්‍ෂාවයි.

“එයා ආපසු එන්න ඕනේ”

“දැන් ඒ හිත් අමාරුකම් වලින් වැඩක් නෑ.....ඔහු අද්වීතීය ක්‍රීඩකයෙක්... දෙවිකෙනෙක්” යයි තවත් පාපන්දු ලෝලියකු වන ජුවාන් ඇල්බටෝ සලාස් කියයි.


අන්තර්ජාතික පුවත් වාර්තා ඇසුරිනි

 

 


අදහස් (0)

ආජන්ටිනියානුවෝ මෙසීට ආයාචනා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.