Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2016 යුරෝ පාපන්දු ශූරයන් වන පෘතුගාලයත්, දකුණු අමෙරිකාවේ විශිෂ්ටතම කණ්ඩායම වන උරුගුවේ පිලත් අතර රුසියාවේ සොචී නුවරදී අද රාත්රියේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව තරගය උරුගුවේ පිලේ ලුයිස් සුවාරිස් සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර තරගයක් බවට පරිවර්තනය වී තිබේ.
අඟලක වාසියකින්වත් ප්‍රතිවාදීන්ට බුරුලක් නොලැබෙන ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග කොහොමටවත් සාමකාමීව නිමා නොවන බව කල්තියාම ක්‍රීඩාලෝලීන්ට සිහිපත් කරදිය යුතුව තිබේ. එබැවින් අද රාත්‍රියේ තරගය නැරැඹීමට ක්‍රීඩාලෝලින් පැමිණෙන්නේ දෙලොවක් අතර තනිවූ ගාණටය.
පෘතුගාල පිලේ නායක රොනාල්ඩෝ නැවැත්විය හැකිනම් පෘතුගාල පිලේ හරි අඩක්ම මෙල්ල කරගැනීම හා සමාන බව උරුගුවේ පිලේ හිටපු ක්‍රීඩක ඩියාගෝ ෆෝර්ලන් කියයි. රොනාල්ඩෝ මේ වන විටත් ගෝල ත්‍රිත්වයක් සමග තරගාවලියේ ගෝල 4ක් ලබා සිටින අතර පෘතුගාල කණ්ඩායමේ වැඩි බර කරපින්නාගෙන සිටී.
“කොහොමවුණත් අපි (උරුගුවේ) හොඳ ආක්‍රමණශීලී කණ්ඩායමක්. ඒ වගේම හොඳ ආරක්ෂක පෙළක් සිටිනවා.‘ උරුගුවේ වෙනුවෙන් තරග 112කට ක්‍රීඩා කර ගෝල් 36ක් වාර්තා කළ ෆෝර්ලන් කීවේය.
“අපි මේ දකින්නේ වෙනස් රොනාල්ඩෝ කෙනෙක්”
“ඔහු දැන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරනවා. ඔහු ගෝල ලබාගැනීම ආරම්භ කරන්නත්, ඉවර කරන්නත් දෙකටම දක්ෂයි. කණ්ඩායමේ අනිත් අයත් එහෙම කරන්න දක්ෂයි. ගෝලයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් පන්දුව එහෙ මෙහෙ යවන කෙනෙක් නෙවෙයි රොනාල්ඩෝ කියන්නේ..... හරියටම ඉලක්කය ගන්න එයා දන්නවා. ඒකයි ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයෙක් වෙලා ඉන්නේ.” යයිද ෆෝර්ලන් කීවේ තමන්ගේ ක්‍රීඩකයන්ට කිසියම් අවවාදයක් දෙන්නාක් මෙනි.
එය කෙසේ වෙතත් ජොස් ගිමේනස්, එඩින්සන් කවානි මෙන්ම ලුවිස් සුවාරිස් තිදෙනාම අද තරගයේදී වැඩි දෙයක් කරනු ඇතැයි උරුගුවේ ක්‍රීඩාලෝලීහු බලාපොරොත්තුවෙන් පසුවෙති. පෘතුගාලය එහෙම පිටින්ම රොනාල්ඩෝ මත යැපෙන බැවින් මෙම තරගයේ වැඩි වාසිය උරුගුවේ පිලට හිමිවී ඇතැයි විචාරකයෝ කියති.
මූලික වටයේ පළමු තරගයේ දී රොනාල්ඩෝ ගෝල ත්‍රිත්වයක් ලැබුවත් ස්පාඤ්ඤය තරගය 3-3 කින් සමකරගත් අතර මොරොක්කෝවට එරෙහිව දෙවැනි තරගය පෘතුගාලය ජයගත්තේ 1-0 කිනි. අවසන් තරගය 1-1 කින් සමකරගැනීමට ඉරානය සමත්විය. ඒ අනුව මූලික වටයේදී පෘතුගාලය ජයගත්තේ එක් තරගයක් පමණි. ප්‍රතිවාදී කණ්ඩායම් වල උපක්‍රමය වූයේ රොනාල්ඩෝ මෙල්ල කරගැනීමයි. එය සෑහෙන දුරට සාර්ථක වී තිබේ.
එහෙත් අනිත් අතට බැලූවිට උරුගුවේ පිල ඉදිරියෙන් සිටී. ඔවුන් පළමු තරගයෙන් ඊජිප්තුව 1-0 කින් පරාජය කළ අතර දෙවැනි තරගයේදී සෞදි අරාබියත් 1-0 කින් පරාජය කළේය. තුන්වැනි තරගයේදී සත්කාරක රුසියාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කරමින් තරග 3 ම ජයගත්තේය.
කඩදාසියේ ලියා තිබෙන වාර්තාව කුමක් වුවත් ක්‍රීඩාව අවිනිශ්චිතය.
පසුගිය වතාවේ ලෝක කුසලාන දිනාගත් ජර්මනිය පළමු වටය නිමාවේ ගෙදර ගිය ආකාරයත් පසුගිය වතාවේ අනුශූරයන් වූ අර්ජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත් අසීරු ආකාරයත් ක්‍රීඩා ලෝලීන්ට රහසක් නොවේ. එබැවින් තරගය නිමා වන තුරු දෙපිලේම ආධාරකරුවන්ට කළ හැක්කේ ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා බලා සිටීම පමණි.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.