Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner එංගලන්තයත් 16 දෙනාගේ කඩුල්ල පැනගනී

එංගලන්තයත් 16 දෙනාගේ කඩුල්ල පැනගනී

Nisanka Sandeepani - 2018 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටය අවසන් කරමින් කොලොම්බියාවට එරෙහිව පැවැති තරගයේදී දඬුවම් පහර 4-3 ක ජයක් අත්කරගත් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මොස්කව් නුවර ස්පාර්ටැක් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) රාත්‍රියේ පැවැති මෙම තරගය දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීම දක්වා දුර දිග ගියේ නියමිත කාලය තුළ දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවූ බැවිනි. 

කාලෝස් බැකා ගැසූ කොලොම්බියාවේ අවසන් දඬුවම් පහර විශිෂ්ට අයුරින් වැළැක්වීමට එංගලන්තයේ ගෝල රකින්නා වන ජෝර්ඞ්න් පික්ෆර්ඞ් සමත්වීමෙන් පසු එරික් ඩයර් එංගලන්තයේ අවසන් දඬුවම් පහර සාර්ථකව දැළ තුළට යවමින් පාපන්දු ක්‍රීඩාවේ නිර්මාතෘවරයාට මෙම ජයග්‍රහණය ගෙන දුන්නේය.

බෙල්ජියම සමග පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් විවේක ගැන්වූ නායක හැරී කේන් ඊයේ තරගයේදී තවත් ගෝල් 2 ක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ රන් සපත්තුව කරා යන ගමන තවත් හැඩ වැඩ කරගත්තේය. 

මූලික වටයේ දී ටියුනීසියාව සමග පැවැති තරගයේදී ගෝල ද්විත්වයකුත්, අනතුරුව පැනමා කණ්ඩායම සමග පැවැති තරගයේදි ගෝල ත්‍රිත්වයකුත් ලැබූ මේ පෙරළිකාරයා ගැන ලෝක කුසලාන තරගාවලියට පෙර කතාබහ කළ අයකු සිටියේ නම් ඒ එංගලන්ත කළමණාකරු ගැරත් සවුත්ගේට් මහතා පමණක් විය හැකිය.

තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයට පෙර ගෝල 5 ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගෙන තිබූ හැරී කේන් ඊයේ තරගයේ නියමිත කාලයේ වාර්තා වූ එංගලන්ත ගෝලයටද හිමිකම් කී අතර සමස්ත තරගාවලියේදී ගෝල 6 ක් ලබා සිටී. එපමණක් නොව ඔහු 1939දී  ටොමී ලෝටොන්ගෙන් පසුව ලෝක කුසලාන තරගාවලියක එක දිගට ගෝල 6 ක් වාර්තා කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා බවටද පත්විය.

2006 තරගාවලියට පසුව පළමු වතාවට පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ පරීක්ෂණයෙන් සමත්වූ එංගලන්තය පික්ෆර්ඞ් සහ ඩයර් වීරයන් බවට පත් කරද්දී කළමනාකරු ගැරත් සවුත්ගේට් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උඩ පනිමින් ජයග්‍රහණය සැමැරුවේය. 

තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වූ අතර දෙවැනි භාගයේ 57 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර සාර්ථකව ගැසූ නායක කේන් එංගලන්තය ගෝල 1-0 කින් ඉදිරියට ගෙන ගියේය. ඊළඟට කොලොම්බියාව දැඩි පීඩනයකට හසු කරමින් අවසන් මිනිත්තුව දක්වාම එංගලන්තය සිටියේ ජයග්‍රහණයේ එළිපත්තේය. එහෙත් ආබාධවලට ලක්වීමෙන් මඟ හැරුණු කාලය අල්ලා ගැනීමේ අතිරේක මිනිත්තු කිහිපයේදී යෙරී මිනා ගෝලයක් ලබාගත් හෙයින් තරගය 1-1 කින් සමකරගත්තේ එංගලන්තයට ලෙහෙසියෙන්ම දිනන්නට තිබූ තරගය ක්‍රීඩකයන් බියට පත් කරවන දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීම දක්වා තල්ලු කර දමමිනි.

දඬුවම් පහර එල්ල කෙරෙන එක් අවස්ථාවකදී ගෝල 3-2 කින් කොලොම්බියාව ඉදිරියෙන් පසුවිය. එසේ වුයේ කොලාම්බියානු ක්‍රීඩකයන් තිදෙනකු වන ෆැල්කාඕ, ජූ කුවඩ්‍රාඩෝ සහ මුරීල් එක දිගට දඬුවම් පහර සාර්ථක කරද්දී එංගලන්ත පිලෙන් සාර්ථක වූයේ පළමු දඬුවම් පහර 2 පමණක් වූ බැවිනි. නායක කේන් පළමු දඬුවම් පහරත්, රැෂ්ෆෝර්ඞ් දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරගත්තත් හෙන්ඩර්සන් එල්ල කළ තුන්වැනි දඬුවම් පහර කොලොම්බියාවේ ගෝල් රකින ඬේවිඞ් ඔස්පිනා විස්මිත අයුරින් වළක්වා ගැනීමත් සමග එංගලන්ත පිල පීඩනයකට හසුවිය. 

එවන් තත්ත්වයක් තිබියදී කොලොම්බියාවේ මතායස් උරිබි එල්ල කළ දඬුවම් පහර ගෝල් කණුවේ වැදී ඉවතට විසිවීමත් සමග එංගලන්ත ක්‍රීඩකයෝ සැනසුම් සුසුම් හෙලූහ. එංගලන්ත පිලේ සිවුවැනි දඬුවම් පහර  ට්‍රිපිර් නිවැරැදිව ගැසීම හේතුවෙන් දඬුවම් පහර 3-3 කින් යළිත් තරගය සමවිය. අනතුරුව එංගලන්තය ගැසූ පහර සාර්ථක වූයෙන් අලංකාර ක්‍රීඩාව හෙවත් පාපන්දු ක්‍රීඩාවේ නිර්මාතෘවරයෝ කඩුල්ල පැනගත්හ. 

එංගලන්තය සහ  ස්විඩනය අතර අර්ධ අවසන් පුර්ව තරගය 7 වැනිදා කොස්මොස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරගය ජයගතහොත් අවසන් මහා තරගයට යනතුරුම බ්‍රසීලය, උරුගුවේ, ප්‍රංශය හෝ බෙල්ජියම මුණ නොගැසෙන නිසා එංගලන්තය පසුවන්නේ මෙවර තරගාවලියේ අවසන් තරගය පෙනෙන මායිමේය.

main-fofof uib-nf
- 077

 


අදහස් (0)

එංගලන්තයත් 16 දෙනාගේ කඩුල්ල පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.