Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features තෙත තණතීරු මත...

තෙත තණතීරු මත...

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රිකට් තරගයකදී නම්...

තෙත තණතීරු මත පන්දුවට පහර දීම ඉතාමත් අසීරු අභියෝගයකි. තෙත බරිත පිට්ටනියක පන්දුව අල්ලා ගැනීමත්, පන්දුව රැකගැනීමට දිවයාමත් යන දෙකම අනතුරුදායකය. ඉදින් පන්දුවට පහරදීම ගැන කියනුම කවරේද ?

පන්දුවට පහර දීම පසෙක තිබියේවා...
පිට්ටනිය තෙත බරිත වී ඇත්නම් එහි ධාවන තරග පමණක් නොවත වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, එල්ලේ, හොකී, මෙකී නොකී කොයි ක්‍රීඩාව කිරීමත් අසීරුය. එහෙත්, අනෝරා වැසි මැද්දේ වුව, ගිනි කාෂ්ඨක අව්වේ නැතොත් සියොළඟ හිරිවැටෙන හීතලේ, අභියෝගයන්ට මුහුණ දීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අලුත් දෙයක් නොවේ. ඒ ඔවුන්ගේ නොසන්සිඳෙන ආශාවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව, ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමණාකරුවන්, සහායකයන්, අභ්‍යාසකවරුන්, විනිසුරුවරුන්, ක්‍රීඩා පිට්ටනි සකස් කරන්නන් මෙන්ම, පොදුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව මුහුණ දෙන අභියෝග, අසීරුතා, ඛේදචවාචක මෙන්ම ඒවා අභිබවමින් ගොස් අත්කරගන්නා ජයග්‍රහණ ගැනද කාලයේ සීමාවෙන් තොරව ලියා තබන්නට සිදුව තිබේ.

රටේ වත්මන් තත්ත්වය එකකි. දැනට පවතින්නාවූ හෝ ඇතිවී නැතිවී යන්නා වූ දේශපාලන අලකලංචි තවත් එකකි. එහෙත් ඒ සියල්ල මැද්දේ ක්‍රීඩාවට ඇලුම් කරන, ක්‍රිකට් පමණක් නොව, පොදුවේ ගත්කල්හි මොනයම් ක්‍රීඩවක් කෙරේ වුව ලැදියාවක් දක්වන, ක්‍රීඩා ප්‍රේමීන්ට මෙම සටහන කිසියම් අස්වැසිල්ලක් වේ නම් එක අරමුණක් සාර්ථකය. අනෙක් අතට, තවත් දශක කිහිපයකින් පසුව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටිය දෙස හැරී බලන අයකුට, එක් එක් කාලයේදී සිදුවූයේ කුමක්ද යන්න වටහා ගත හැකිවේ නම් දෙවැනි අරමුණ ද සාර්ථක වනු ඇත.

ඇත්ත ඇති හැටියේම කියන්නේ නම් ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවම තෙත බරිත පිට්ටනියකට ඇදවැටී තිබේ. එහි ක්‍රිකට් පමණක් නොව, වෙනත් කිසිම ක්‍රීඩාවක් නිදහසේ කළ හැකි තත්ත්වයක් නොපවතී.

දින දෙකකට කලින් වැඩ බාරගත් ක්‍රීඩා ඇමති තේනුක විදානගේ මහතා පළමුවෙන්ම කීවේ ජාතික ක්‍රීඩා සභාවේ සේවය සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාටම නැවතත් ආරාධනා කරන බවයි. (2022 - අප්‍රේල් 19 දා ලංකාදීප) එහෙත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු යයි රජයට ඇඟිල්ල දිගුකරමින් සිටින ජයවර්ධන සහ සංගක්කාර දෙදෙනාම සිය සමීප හිතවතුන් හා කියා ඇත්තේ “ආයෙ නම් ක්‍රීඩා අමාත්‍යංශය පැත්ත පළාතේවත් යන්නේ නෑ” කියාය.

ඒ අතරම නව ක්‍රීඩා ඇමතිවරයා කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේත් රග්බි ක්‍රීඩාවේත් පරිපාලනය අර්බුද වලින් ගහණ බවයි. එයත් අපූරු කතාවකි.

ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුව තේරී පත්වූයේ වත්මන් රජයේම හිටපු ක්‍රීඩා ඇමතිවරයා වන  නාමල් රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිවය. එසේ නොවූයේ නම්, පසුගිය අප්‍රේල් 01 වැනිදා රග්බි ආයතනයට කළාක් මෙන්, ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර නිසි බලධාරියකු හෝ අතුරු කමිටුවක් පත්කිරීම ක්‍රීඩා ඇමතිවරයාට ‘ටොයිස්’ වැඩකි. එවැන්නක් සිදු නොවූ අතර වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් විධායක කමිටුව කිසිදු අපහසුතාවකින් තොරව වැඩකටයුතු කරගෙන යමින් සිටී.

එපමණක් නොව, 2021 ජූලි - අගෝස්තු මාසවලදී, ජපානයේදී පැවැති ඔලිම්පික් උළෙලට තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම මුදල් අහේනියකට මුහුණ දුන් අවස්ථාවේදී රුපියල් මිලියන 35 ක් හෝ 40 ක් දරමින් සම්පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායමටම අනුග්‍රහය දැක්වීමට තමන් සූදානම් බව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කීවේය. එහෙත් මව් සංගමය වන ජාතික ඔලිම්පික් කමිටුව, සිය අනුබද්ධ සංගමයක අනුග්‍රහයෙන් ඔලිම්පික් යාම ‘විලි ලැජ්ජා නැති’ කරුණක් වූයෙන් ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ඉදිරිපත් වීම ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කළේය.

ඒ වන විට බලයේ සිටියේ හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාය. එදා ඔහුගේ නියෝජ්‍ය ඇමතිවරයා ද වූ, වත්මන් ක්‍රීඩා ඇමති තේනුක විදානගමගේ මහතා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අර්බුද සහිත බවයි.

මේ රග්බි සංදර්ශනය, දීර්ඝ නාටකයක එක කථාංගයක් පමණි. ඉදිරියේදී ඒ ගැනත් සොයා බලමු..

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තෙතබරිත පිට්ටනියකට ඇදැවැටී ඇතැයි කියන්නේ එබැවිනි.


- මතු සම්බන්ධයි
සටහන - දමින්ද විජේසූරිය

 

 


අදහස් (0)

තෙත තණතීරු මත...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.