(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය ඊයේ (19 වැනිදා) සමත් විය. මෙවර තරගාවලියේදී බදුරලිය කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 218 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් මුවර්ස් කණ්ඩායමට කේෂර නුවන්ත ප්රමුඛ බදුරලිය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගත් කේෂර, දෙවැනි ඉනිමේදී ලකුණු 71 කට කඩුලු 7 ක් බිඳහෙළමින් ඉනිම් දෙකේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ දමාගත්තේය.
පළමු ඉනිමේදී ලකුණු 90 කට කඩුලු 4 ක් දවාගත් මාලින්ද පුෂ්පකුමාර, දෙවැනි ඉනිමේදී ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බදුරලිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා කේෂරට අනගි සහායක් දුන්නේය. මුවර්ස් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂෙහාන් ප්‍රනාන්දු හතරේ පහර 7 ක් සමග ලකුණු 65 ක් රැස්කළේය.
දෙවැනි දිනය වූ ඉරිදා (18 වැනිදා) කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටි මුවර්ස් කණ්ඩායමට, අවසන් දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 109 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු දිනුක දිල්ෂාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 69 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට ලකුණු 218 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කිරිම සඳහා පිට පිටම දෙවැනි වරටත් පිටියට පිවිසීමට සිදුවූහ.
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 486
(සඳුන් වීරක්කොඩි 44, ළහිරු දෙවැටගේ 32, රොෂාන් විජේනායක 53, ගීත් කුමාර 185, සුමින්ද ලක්ෂාන් 66, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 41, චානුක දිල්ෂාන් 81/5, තිලංග උදේෂන 90/3)
මූවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 268
(දිනුක දිල්ෂාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර 46, රමේෂ් මෙන්ඩිස් 36, තිලාන් ප්රෂාන් 22, කේෂර නුවන්ත 65/5, මාලින්ද පුෂ්පකුමාර 90/4)
මූවර්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 172
(රමේෂ් මෙන්ඩිස් 41, ෂෙහාන් ප්‍රනාන්දු 65, කේෂර නුවන්ත 71/7, මාලින්ද පුෂ්පකුමාර 47/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.