Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේරත්ගේ අභියෝගයට අපි සූදානම් - මිස්බා

හේරත්ගේ අභියෝගයට අපි සූදානම් - මිස්බා

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඇන්ජලෝ මැතිව්ස් සහ මිස්බා උල් හක් ‘හයර් මොබයිල්’ කුසලාන සමඟ.


ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ අභියෝගයට මුහුණදීමට පාකිස්තානු කණ්ඩායම සතුව සැලැස්ම කීපයක් ඇති බව පාකිස්කතානු ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක් පැවසීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 17 වැනිදා ගල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ‘හයර් මොබයිල්’ කුසලාන ටෙස්ට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සදහා කොළඹදී අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මිස්බා උල් හක් මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රී ලංකාවේදී අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත්ගේ පන්දු හමුවේ අපි අපහසුතාවට පත්වුණා. හේරත් මේ වන විටත් හොදින් පන්දු යවමින් ඉන්නවා. අපේ ක‍්‍රීඩකයො හොඳින් පුහුණුවීම් කරමින් සිටිනවා. හේරත්ට මුහුණ දීමට අපි සතුව සැලැස්ම කීපයත් තිබෙනවා’’

‘‘ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදී ඉතාමත් ශක්තිමත්, අපිට ශ්‍රී ලංකාවේදී පසුගිය සංචාරවල සාර්ථක වෙන්න බැරි වුණා. අපි හොදින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි මිස්බා උල් හක් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට 2014 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත් කඩුලූ 23 ක් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්විය.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගාවලිය සඳහා ලැබී ඇති සංචිතය පිළිබදව ගොඩක් සතුටු වන බවත් එය නවක සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ මිශ‍්‍රණයක් බවයි.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියට ඇති සූදානම පිළිබදව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි මාස දෙකක පමණ කාලයක් පුහුණුවීම් කළා. හොද සූදානමකින් ඉන්නේ. පාකිස්තානු කණ්ඩායම අපේ රටේ වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වී තිබීම නිසා ඔවුන් පරාජය කිරීම පහසු නෑ. නමුත් මම හිතනවා මගේ කණ්ඩායමට එය කළ හැකියි’’

‘‘අපේ කණ්ඩායමට කඩුලූ රකින්නන්ගෙන් ප‍්‍රශ්නයක් නෑ. හතර දෙනෙක් විතර ඉන්නවා. බොහෝ දුරට චන්දිමාල් කඩුලූ රකියි. ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නෑ. සංචිතයේ 15 දෙනාම ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩකයන්, අවසන් 11 දෙනා තෝරා නෑ. කුසල් ක‍්‍රීඩා කරයිද කියලා තවම කියන්න බෑ’’

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පහළට වැටීම පිළිබඳව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.

‘‘අපේ කණ්ඩායම පසුගිය වසර දෙක පමණ කාලය තුළ ටෙස්ට් තරගවලදී හොදින් ක‍්‍රීඩා කළා. අපි මේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙන්නේ මාස හයකට පසුවයි. පසුගිය කාලේ අපි ක‍්‍රීඩා නොකළ නිසා ශ්‍රේණිගත කිරීමේ පහළට වැටුණා’’

මෙම මාධ්‍ය හමුවට පාකිස්තානු පිලේ කළමණාකරු පාකිස්තානු හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක වාකාර් යුනිස්, ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි යන මහත්වරු ද සහභාගි වූහ.



ඡායාරූපය: ශාන්ත රත්නායක


අදහස් (0)

හේරත්ගේ අභියෝගයට අපි සූදානම් - මිස්බා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.