Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සුපර්නෝවා පිල විස්සයි20 අභියෝගය ජයගනී

සුපර්නෝවා පිල විස්සයි20 අභියෝගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැති කාන්තා විස්සයි20 අභියෝග ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන සුපර්නෝවා කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත් විය. ඒ අවසන් මහ තරගයේදී වෙලෝසිටි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය සුපර්නෝවා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කයක පසුකර ගියහ. ඇමීලියා කේර් යැවූ අවසන් ඕවරයේදී සුපර්නෝවා කණ්ඩායමට ලකුණු 7 ක් රැස්කිරීමට සිදුවූ අතර එහි පළමු පන්දුවට ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ හර්මන්ප්‍රීත් කෞර් දෙවැනි පන්දුවේදී දැවී ගියාය. ඉන් අනතුරුව පිටියට පිවිසි රාධා යාදව් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි පන්දුවලට ලකුණු 2 බැගින් ලබාගනිමින් තරගය අවසන් පන්දුව දක්වා ඇදගෙන ගිය අතර අවසන් පන්දුව හතරේ සීමාව කරා යවමින් තරගයේ ජයග්‍රහණයද තහවුරු කළාය.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හර්මන්ප්‍රීත් කෞර් පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 51 ක් රැස්කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ආරම්භක පිතිකාරිණි ප්‍රියා පූනියා පන්දු 31 කදි හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, ජෙමියා රොඩි්‍රගස් පන්දු 25 කදී හතරේ පහර 3 ක්ද රැස්කරමින් සුපර්නෝවා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

සුපර්නෝවා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කළ චමරි අතපත්තු මෙම තරගයේදී ලකුණු 2 ක් ලබා සිටියදී එක්තා බිෂ්ට්ගේ සහ සුෂ්මා වෙර්මාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්ව ගියාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් වෙලෝසිටි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121 ක් ලබාගත් අතර වෙලෝසිටි ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ සුෂ්මා වෙර්මා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කළාය. ඇමීලියා කේර් (36) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෙර්මා සමත් වූ අතර පන්දු 38 කට මුහුණදුන් කේර්ගේ ඉනිමට හතරේ පහර 4 ඇතුළත් විය.


වෙලෝසිටි පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 121
(මිතලි රාජ් නොදැවී 12, සුෂ්මා වෙර්මා නොදැවී 40, ඇමීලියා කේර් 36, ලියා තහුහු 21/2)

සුපර්නෝවා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 125
(ප්‍රියා පුනියා 29, ජෙමියා රොඩ්‍රිගුස් 22, හර්මන්ප්‍රීත් කෞර් 51, ජහනුරා අලම් 21/2, ඇමීලියා කේර් 29/2)

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

-036

 


අදහස් (0)

සුපර්නෝවා පිල විස්සයි20 අභියෝගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.