එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන සරේ ප්‍රාන්ත කණ්ඩායම සමත් විය.
සරේ ප්‍රාන්ත කණ්ඩායම පිට පිටම මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් තෙවැනි වසර මෙය වන අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 153 කින් වූස්ටර්ෂයර් ප්‍රන්ත කණ්ඩායම පරාජය කරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 364 ක ඉලක්කයක් හඹාගිය වූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම ඕවර 33.2 ක් අවසානයේ ලකුණු 210 කට සීමා කිරීමට නායක ගැරත් බැටී ප්‍රමුඛ සරේ ප්‍රාන්ත පන්දුයවන්නෝ සමත් වූහ. සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි හොඳම පන්දුයැවීම පෙන්නුම් කළ ගැරත් බැටී ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගනිමින් වූස්ටර්ෂයර් ප්‍රන්ත ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් සෑම් කරන් සහ ජේඞ් ඩැර්න්බැච් කඩුලු 2 බැගින් දවාගත්හ.
වූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කිරීමට බ්‍රෙට් ඩි’ඔලිවේරා සමත් වූ අතර රොස් වයිට්ලි පන්දු 42 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් රැස්කළේය.
ජේසන් රෝයි (92) සහ මාර්ක් ස්ටෝන්මන් (41) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදි ගොඩනැගූ ලකුණු 114 ක වේගවත් සම්බන්ධතාවය නිසා කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 363 ක් ලබාගත්තේය.
එහිදී ලකුණු 73 ක් රැස්කිරීමට කුමාර් සංගක්කාර සමත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. මෙවර ‘රෝයල් ලන්ඩන්’ කුසලාන තරගාවලියේදී සංගක්කාර ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය විය. මේ වන විට තරග 9 කට ක්‍රීඩා කර ඇති සංගක්කාර එහිදී ශතක 2 ක්ද සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 515 කි. ඒ අනුව ඔහු වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවේ.
ජේසන් රෝයි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, ඉන් නොනැවතී බෙන් ෆෝක්ස් (86) සමඟ එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 81 කදී වාර්තා වූ ජේසන් රෝයිගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 70 කදී වාර්තා වූ බෙන් ෆෝක්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
මෙම තරගයේදී වූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන් පාහේ දැඩි ලෙස පහරකෑමට ලක්වූ අතර එහිදී ජෝන් හේස්ටිංස්ගේ ඕවර 10 දී ලකුණු 97 ක් උදුරාගැනීමට සරේ ප්‍රාන්ත පිතිකරුවෝ සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 5 කින් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව ජූලි මස 1 වැනිදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව සරේ ප්‍රාන්ත කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
සරේ ප්‍රාන්ත පිල -ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 363
(ජේසන් රෝයි 92, මාර්ක් ස්ටෝන්මන් 41, කුමාර් සංගක්කාර 73, බෙන් ෆෝක්ස් 86, ඔලී පෝප් 22, සෑම් කරන් 21, ජෝ ලීච් 66/2)
වූස්ටර්ෂයර් ප්‍රන්ත පිල -ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 210
(මුයින් අලී 36, ජෝයි ක්ලාර්ක් 15, බ්‍රෙට් ඩි’ඔලිවේරා 53, රොස් වයිට්ලි 55, ගැරත් බැටී 40/5, සෑම් කරන් 19/2, ජේඞ් ඩැර්න්බැච් 64/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.