ශූරයන්ගේ කුසලානයට අතපොවන මායිමකවත් නැති කණ්ඩායමක් ලෙස ලේබල්ගත වෙමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයට පිටියට පිවිසෙන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වයද නොමැතිවය. දින දෙකකට පෙර පුහුණුවීම් අතරතුරදී පාදයේ කලවා පෙදෙසේ මස්පිඩුවක් ඉරීයාම නිසා හෙට තරගයට මැතිව්ස්ගේ සහභාගීත්වය බොහෝ දුරට අහිමිවනු ඇතැයි ලන්ඩනයෙන් වාර්තා වෙයි.
පසුගිය ජනවාරියේ සිටම මේ ආබාධය නිසා එක දිගටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තුන්ඉරියව් ක්‍රීඩක මැතිව්ස්ට නොහැකිවූ අතර ඔහු මෙවර කණ්ඩායමට එක්වූයේ සුපුරුදු ශාරිරික යෝග්‍යතාව සහතික කරගැනීමෙන් පසුවය. අද සිය 30 වැනි උපන්දිනය සමරන මැතිව්ස්ට හෙට තරගය අහිමිවන්නේ නම් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක උපුල් තරංගට පැවැරෙනු ඇත.
මෑත කාලයේ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්ව එක්දින ශ්‍රේණිගත කිරිීම්වලින් පවා පහතට ඇද වැටී සිටින ශ්‍රී ලංකා පිල හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 15 න් තරග 9 ක්ම පරාජය වී තිබේ. තරග 4 ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.
දකුණු අප්‍රිකානු පිලේ අවසන් එක්දින තරග 15 දෙස ආපසු හැරී බැලීමේදී දකුණු අප්‍රිකානු පිල එම තරග 15 න් තරග 11 ක් ජයගෙන තරග 4 ක පමණක් පරාජය වී තිබේ. මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 හිමිකරගෙන සිටින දකුණු අප්‍රිකානු පිල 2016 ජූනි 24 වැනිදා සිට 2017 පෙබරවාරි 19 වැනිදා දක්වා සහභාගි වූ එක්දින තරග 13 ම එක දිගට ජයගෙන තිබේ. ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් 5-0 තරගාවලි ජයග්‍රහණ දෙකක්ද දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණ 13 ජයමාලයට ඇතුළත් වේ.
තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දි නැවතත් හිස එසැවීමයි. එහෙත් පළමු තරගයෙන්ම අත්දැකීම් බහුල නායකයා අහිමිවීම ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට දැඩි බලපෑමක් වනු නිසැකය. ඇරත් ඒ තරගය දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන නිසා තත්ත්වය වඩාත් බරපතලය.
මැතිව්ස් පමණක් නොව සෑහෙන කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පිලේ බොහෝ ක්‍රීඩකයන් වරින් වර ආබාධවලට ලක්වී සිටියහ. කලෙකට පසුව ඔවුන් සියලුදෙනාම එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන පළමු අවස්ථාවත් මේ තරගාවලියයි. ශ්‍රී ලංකා පිලේ නොම්මර එකේ වේගපන්දු තුරුම්පුව ලෙස මේ තරගාවලියට එක්වී සිටින ලසිත් මාලිංග දණහිසේ ආබාධයක් නිසා 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළේම නැත. එබැවින් මාලිංගගේ සහභාගීත්වය කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දමාගැනීමට වැදගත් සාධකයක් වනු නිසැකය.
හෙට දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ අස්වැසිල්ලකට හේතු වන තවත් කාරණාවක් වන්නේ කලක් ක්‍රිකට් පිටියේ සුදු විදුලි සැරය නමින් හඳුන්වනු ලැබූ දකුණු අප්‍රිකානු පිලේ හිටපු ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ඇලන් ඩොනල්ඞ් ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙස පත්වී සිටීමයි. දකුණු අප්‍රිකානුවන්ට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වීමට මේ වේගපන්දු යවන්නා කලකට ඉහතදී දැක්වූ දස්කම් බෙහෙවින් ඉවහල් වී තිබිණි. දකුණු අප්‍රිකානුවන්ගේ වේගපන්දු බලඈණියේ උපක්‍රම හා හැකියා පරාසයේ දිගපළල ගැන කදිම අවබෝධයක් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ඩොනල්ඩ්ගෙන් ලැබෙනු ඇත.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ හැකියාව පමණක් නොව ඔවුන්ගේ මානසික සූදානම ගැනත්, ඔවුන් විවිධ අවස්ථාවලදී පිටියේ ක්‍රියා කරන ආකාරය ගැනත් පැහැදිලි චිත්‍රයක් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ලබාගත හැකිය.
එසේ වුවත් ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන් ඇතුළු සමස්ත පන්දු යැවීමේ අංශය ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරගවලදී දැඩි පසුබෑමකට ලක්විය.
නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව සමග පුහුණු තරග දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරග 2 කින්ම පරාජය අත්විඳීමට සිදුවූයේ පළමුව පන්දුවට පහරදී ලකුණු 300 න් ඔබ්බට ඉනිම ගොඩනැගීමෙනුත් පසුවය. මේ ලකුණු සංඛ්‍යාව රැක ගැනීමට පන්දු යවන්නන්ගෙන් නිසි සහයෝගයක් නොලැබිණි. හෙට තරගයේදි ඩොනල්ඞ්ගේ කල්පනාව වනු ඇත්තේ ඊට පිළියම් කිරීම විය හැකිය.
පිතිකරුවන් 5 ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් 3 ක්, වේගපන්දු යවන්නන් 2 ක් සහ දඟපන්දු යවන්නකු හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලට එක් කිරීමේ අදහසක් ඇතැයි එංගලන්තයෙන් වාර්තා වෙයි.
දෙපිල අවසන් වරට එක්දින තරග බිමේදී මුණගැසුණේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේදීය. එවර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 5-0කින් එහෙම පිටින්ම සුද්ද කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
එසේ වුවත් එංගලන්ත භූමියට පා තැබීමෙන් පසුව ඊයේ පෙරේදා එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියෙන් දකුණු අප්‍රිකානුවන්ට අත්වූයේ 2-1 ක පරාජයකි. එම පරාජයෙන් පසුවත් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ රැක ගැනීමට සමත්ව සිටි ඒ.බී.ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු පිල සමත්ව සිටී.
අන්තර්ජාතික එක්දින තරග බිමේ නොම්මර එකේ ප්‍රහාරකයා වන ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් හෙට තරගයට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු පිලේ පිතිතකරු ලැයිස්තුව හෂීම් අම්ලා, ෆෆ් ඩුප්ලෙසිස්, ජේ. පී. ඩුමිනි, ඬේවිඞ් මිලර් සහ ක්වින්ටින් ඩි කොක්ගෙන් ශක්තිමත්ය.
තරුණ වේගපන්දු යවන්නා වන කගීසෝ රබාඩා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වුණේ ඊයේ පෙරේදාය. ඔවුන්ගේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන ඉම්රාන් තාහීර් පිතිකරුවන් අන්දමන්ද කරවන ආකාරයේ පා දඟ පන්දු යවන්නෙකි. වේගපන්දු යවන වේන් පානෙල් පිතිකරුවන්ට භීතිය කැන්දන පන්දු යවන්නෙකි.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් කවුරුන් පිළිබඳ එසේ කිව හැකිද ? යන්තම් හෝ කතාකළ හැකිව සිටි ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම තුවාලකරුවන්ගේ ලයිස්තුවේ සිටිති.
දකුණු අප්‍රිකානුවන් හෙට තරගයට එක්වන්නේ පිතිහරඹයත්, පන්දු යැවීමත්. පන්දු රැකීමත් අතින් කිසිවකුට නොදෙවැනි නොවන දස්කම් සමුදායකුත් අතැතිවය. ඔවුන්ගේ කනගාටුවට ඇති එකම කාරණාව අයි.සී.සී. වැනි ලොව ප්‍රධාන තලයේ තරගාවලි ජයග්‍රහණය කිරීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. එය කිසිවකුගේ හූනියමක් හෝ සාපයක් ලෙස ඔවුන් පසුපස හඹා එමින් සිටින්නේ වර්ණභේදවාදයේ තහනමට ලක්වීමෙන් පසුව නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් කරළියට පිළිපන් අනූව දශකයේ මුල සිටමය.
වසර 1998 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් මංගල තරගාවලියේ කුසලානය දිනාගැනීම ඔවුන්ගේ පළමු හා එකම ප්‍රධාන තලයේ ශූරතාව විය. වත්මන් එක්දින ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු අප්‍රිකානු පිතිකරුවන් සහ පන්දු යවන්නන් කිහිපදෙනකුම පළමු 10 දෙනා අතරය. එහෙත් ඔවුන්ගේ කුසලාන රාක්කය හිස්ය. දැන් ඔවුන් අර අඳින්නේ එය පුරවාගැනීමටය.
දැන් ඔවුන්ගේ අරමුණ හෙට තරගයේදී ශ්‍රී ලංකා පිල තලා පෙලා දමා කුසලාන කැබිනෙට්ටුව පුරවාලීමේ සටනට කදිම ආරම්භයක් ලබා ගැනීමය.
ශ්‍රී ලංකා කණ්ඩායම:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්
දකුණු අප්‍රිකා කණ්ඩායම:
ඒ. බී. ඩිවිලියස් (නායක), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී.ඩුමිනි, ෆෆ් ඩුප්ලෙසි, ඉම්රාන් තහීර්, කේෂව් මහරාජ්, ඬේවිඩ් මිලර්, මෝර්න් මෝකල්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රේටෝරියස්, කගිසෝ රබාඩා
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.