Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදීත් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත ජයක් ලබාගත්හ.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වූ අද (14 වැනිදා) තේ පානය වන විට ලකුණු 181 කට දැවී ගියේය.

ගාල්ලේදී සහ කොළඹදී පැවැති ටෙස්ට් තරග දෙකත් ජයගෙන සිටි ඉන්දීය කණ්ඩායම අද තරගය ජයගැනීමත් සමගින් 3-0 කින් තරගාවලිය ජයගත්තේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියක් 3-0 කින් පරාජය වූ දෙවැනි අවස්ථාවයි. මෙවන් පරාජයක් හඳුන්වනු ලබන්නේ සම්පූර්ණ සුද්දයක් ලෙසිනි.

වසර 2004 දී හෂාන් තිලකරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාව හමුවේ 3-0 ක සුද්දයකට ලක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේදී ටෙස්ට් තරගාවලියක් 3-0 කින් පරාජය වූ හයවැනි අවස්ථාවද මෙයයි.

අද පළමු හෝරාවේදීම ශ්‍රී ලංකා පිලේ ගෙල මිරිකූ ඉන්දීය පන්දු යවන්නෝ ලකුණු 20 ක් ඇතුළත කඩුලු 3 ක් බි දැමූ නමුත් නායක දිනේෂ් චන්දිමාල් සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. ඉන්දියානුවන් හමුවේ තවත් ඛේදජනක පරාජයකින් ගැලවීමේ සටනක නිරතව සිටි නායකයා සහ හිටපු නායකයා දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 කට 82 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ගෙන ගියහ.

දිවා ආහාරයට පෙර පැය එක හමාරක් පමණ පිටියේ ගතකළද චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනාම ලබා සිටියේ පිළිවෙලින් ලකුණු 26 ක් සහ 17 කි.  දෙදෙනාම තමන්ගේ සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය සහමුලින්ම අමතක කරදමා කණ්ඩායම බේරා ගැනීමේ සටනට වන්හ. එහෙත් දිවා ආහාරයෙන් පසු අඩහෝරාවක් ඇතුළත චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනා දවාගත් කුල්දිප් යාදව් සහ රවිචන්ද්‍රන් අශ්වින් තමන් හමුවේ තිබූ බාධක දෙකම ඉවත්කරගත්හ. තේ පානය වන විට සියල්ල අහවර වී තිබිණ.
 
අද පෙරවරුවේදී තරගය ආරම්භ වන විට පැවැතියේ වළාකුළින් බර අහසකි. එසේ වුවත් තමන්ගේ දඟ පන්දු යවන්නා කෙරේ විශ්වාසය තැබූ විරාට් කෝලි පළමුව කුල්දිප් යාදව්ටත් අනතුරුව රවිචන්ද්‍රන් අශ්වින්ටත් පන්දුව බාර කළේය. අශ්වින් විසින් යවන ලද පළමු ඕවරයේදීම දිමුත් කරුණාරත්න දැවී ගියේ තම පිත්ත අහකට ඇද ගැනීමට නිමේෂයක් ප්‍රමාද වූ බැවිනි. දෙවැනි ඉනිම වුවද දිමුත් කරුණාරත්න දෙවැනි වරටත් අසාර්ථක විය.

මන්දාරම් තත්ත්වයෙන් අනගි ප්‍රයෝජන ගත් මොහොමඞ් ෂාමි මුරකරු පිතිකරුවා වූ මාලින්ද පුෂ්පකුමාර සහ කුසල් මෙන්ඩිස් දවාගැනීමත් සමගම දෙවැනි ඉනිමේදීත් ලකුණු 40 ක් පුවරුවේ සටහන් වීමට පෙර සිවුවැනි කඩුල්ල බිඳ වැටිණ. පළමු ඉනිමේදී සිවුවැනි කඩුල්ල ලකුණු 38 දී ඇද වැටුණේය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා පිල ඉදිරියට ගියේ දික්වැල්ලගේ පිතිහරඹයෙනි. තමන්ට ආවේණික, දඩිබිඩි පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල අවසන් පිතිකරුවන් දෙදෙනාගේ සහයෝගය ඇතිව පරාජයේ අවමානය අඩුකරගැනීමේ උත්සාහයක නිරත වූවත් ගලී හි සිටි අජින්ක්‍යා රහනේගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් ඔහුගේ ගමන නිමා විය. ඔහු ලබාගත් ලකුණු 41 ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේය.

සඳුදා දිනයක් වූවද තරගය නැරඹීමට පැමිණ සිට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ සිත් සසළ කළ කාරණාව වූයේ ඉනිම දෙකේදීම අඩුතරමේ එකම අර්ධ ශතකයක් වෙනුවෙන් හෝ අත්පොළසන් දීමට අවස්ථාවක් ඔවුන්ට හිමි නොවීමයි.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.