Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව මත ලකුණු 572 ක පීඩනයක්

ශ්‍රී ලංකාව මත ලකුණු 572 ක පීඩනයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුල් ඉනිමේදී කඩුලු 9 ක් පමණක් දැවී ලකුණු 622 ක් රැස්කරගත් ඉන්දීයානුවෝ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමට පෙර අපේක්‍ෂිත දඩයම කරගත්හ. කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවී යාමට පෙර ඉනිම අත්හිටවූ ඉන්දීය නායකයා අද සවස ක්‍රීඩාව නතර කිරීමට පෙර ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා පිල මත පීඩනය හෙළීම ආරම්භ කළේය.

අද දිනයේ ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මත මේ වන විට පැටවී තිබෙන්නේ ලකුණු 572 ක දැරිය නොහැකි තරමේ පීඩනයකි.  පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 423 ක් ලබාගත යුතුවන නමුත් ඔවුන් සතුව දැන් ඇත්තේ කඩුලු 8 ක් පමණි. මේ වන විට පිටියේ රැඳී සිටින නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා තම කණ්ඩායම පීඩනයෙන් මුදවාගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටිති.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම සිය වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් අයකු වන උමේෂ් යාදව් පැත්තකින් තබා රවිචන්ද්‍රන් අශ්වින්ට පන්දුව බාරදුන් විරාට් කෝලි එයින් කදිම ප්‍රයෝජන ලබාගත්තේය. යැවූ පළමු ඕවරයේ අවසන් පන්දුවෙන් උපුල් තරංගගේ ඉනිම නිමා කළ අශ්වින් තවත් ඕවර හයකට පසුව දිමුත් කරුණාරත්නගේ ඉනිම අවසන් කළේය.

තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 553 ක් රැස්කරගෙන සිටියද ඉන්දීය පිල ලකුණු 600 කඩයිම සොයා ගියහ. ඒ වෙනුවෙන් වැඩි මෙහෙවරක් කළ රවීන්ද්‍ර ජදේජා පන්දු 85 කදී නොදැවී ලකුණු 70 ක් ලබාගත්තේ නායකයා සිය අරමුණ මේ යයි පැහැදිළිව කියා තිබූ හෙයිනි. ඇරත් ශ්‍රී ලකා පිල හැකි තරම් පීඩනයට පත්කරමින් තරගයේ ආධිපත්‍යය පැතිරවීම තමන්ගේ අරමුණ වූ බවද තරගයේන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අජින්ක්‍යා රහනේ පැවසීය. අජින්ක්‍යා රහනේ සහ චෙට්ස්වාර් පුජාරා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 217 ක සම්බන්ධතාව ඉන්දියානුවෙන්ගේ මෙම ආධිපත්‍ය පැතිරවීමට සවිමත් වේදිකාවක් වූයේය.

අද පෙරවරුවේදී දිමුත් කරුණාරත්න විසින් යවන ලද පළමු ඕවරයේදීම මෙම පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව බිඳ දැමීමට ඉවහල් වූයේ විතීවි ක්‍රමවේදයයි. විතීවි ක්‍රමවේදය නිසා ඉන්දීය ඉනිමේදී විනිසුරු තීරණ වෙනස්වූ අවස්ථා ගණන හතරකි.

දෙවැනි නව පන්දුවෙන් අද පෙරවරුවේදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ දිමුත් කරුණාරත්න ඉතාමත් අගනා පන්දුවකින් චෙටේස්වාර් පුජාරා දවාගත්තේය. පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් පන්දුව දෝලනය කරන දිමුත් කරුණාරත්න අද පෙරවරුවේදී ශ්‍රී ලංකා නායකයා සතුව සිටි එකම මඳවේගී පන්දු යවන්නාද වූයේය. දෙවැනි නව පන්දුවෙන් පන්දු 4 ක් පමණක් යැවීමෙන් පසුව පාදයේ ආබාධයක් නිසා ක්‍රීඩාගාරයට ගිය නුවන් ප්‍රදීප්ට අද දිනයේ පන්දු යැවිය නොහැකි විය.

ප්‍රදීප්ගේ පාදයේ කලව පිටුපස මස්පිඬුව ඇදී තිබීම නිසා ඔහුට මෙම ඉනිමේදී පන්දු යැවිය නොහැකි අතර ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව හෙට පෙරවරුවේදී තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.

පළමු පෙළ කඩුලු 500 ක් ඉක්මවා ලබා සිටින නමුත් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන මාලින්ද පුෂ්පකුමාරට පළමු කඩුල්ල දවාගැනීම සඳහා ඕවර 23 ක් යැවීමට සිදුවිය. පුෂ්පකුමාර හමුවේ සීමාවෙන් ඉවතට පැමිණ පහර දීමට ගිය අජින්ක්‍යා රහනේ ලකුණු 132 ක් රැස්කිරීමෙන් පසුව දැවී යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්ව තිබිණ.

වඩාත් ස්ථාවර පිතිකරුවන් වන රිදිමන් සහා සහ හර්දික් පාණ්ඩ්‍යා ක්‍රීඩාගාරයේ සිටියදීම පස්වැනි කඩුල්ල බිඳ වැටුණද පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි රවිචන්ද්‍රන් අශ්වින් අද දිනයේදී කඩුලු අතර සම්බන්ධතා ගොඩනැඟීමේ වගකීම බාරගත්තේය. අජින්ක්‍යා රහනේ සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් එක්කළ අශ්වින් හයවැනි කඩුල්ල වෙනුවෙන් රිදිමන් සහා සමග එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව 38 කි. එහෙත් සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ගැසූ ඉතාමත් අලස පහරකින් අශ්වින් දැවී ගියේය.

එතැන් සිට ඉන්දීය ඉනිමේ සුක්කානම බාරගත් ජදේජා නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින් ලකුණු 600 ඉලක්කයෙන් එපිටට තම පිල කැඳවාගෙන ගියේය.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකාව මත ලකුණු 572 ක පීඩනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.