ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම අගාධය කරා ඇදී යමින් සිටියේය. ඉන්දීය පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 600 ට පිළිතුරු වශයෙන් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154 කට කඩුලු 5 ක් අහිමි කරගනිමින් මහත් අසරණ අඩියකට වැටී සිටියේය.
| ඉන්දියාව - පළමු ඉනිම | |||
| ෂිකාර් ධවාන් - ඇ.මැතිව්ස් ප.නුවන් ප්‍රදීප් | 190 | ||
| අභිනව් මුකුන්ද් - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් | 12 | ||
| චෙටේස්වාර් පුජාරා - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් | 153 | ||
| විරාට් කෝලි - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් | 3 | ||
| අජින්ක්‍යා රහනේ - ඇ.කරුණාරත්න ප.ළහිරු කුමාර | 57 | ||
| රවිචන්ද්‍රන් අශ්වින් - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් | 47 | ||
| රිදිමන් සහා - ඇ.ඩිල්රුවන් ප.හේරත් | 16 | ||
| හර්දික් පාණ්ඩ්‍යා - ඇ.අතිරේක (ධනංජය) ප.ළහිරු කුමාර | 50 | ||
| රවීන්ද්‍ර ජදේජා - ප.නුවන් ප්‍රදීප් | 15 | ||
| මොහොමඩ් ෂාමි - ඇ.තරංග ප.ළහිරු කුමාර | 30 | ||
| උමේෂ් යාදව් - නොදැවී | 11 | ||
| අතිරේක (නි. ල. - 2, පා.ල-5, ව.ප.-6, නිප-3) | 16 | ||
| එකතුව ඕවර 133.1 කදී සියලු දෙනා දැවී | 600 | ||
| කඩුලු වැටීම | |||
| 1-27(මුකුන්ද්), 2-280(ධවාන්). 3-286(කෝලි), 4-423(පුජාරා), 5-432(රහනේ), 6-491(සහා), 7-495(අශ්වින්), 8-517(ජදේජා), 9-579(ෂාමි), 10-600(පාණ්ඩ්‍යා) | |||
| පන්දු යැවීම | |||
| නුවන් ප්‍රදීප් | 31-2-132-6 | ||
| ළහිරු කුමාර | 25.1-3-131-3 | ||
| ඩිල්රුවන් පෙරේරා | 30-1-130-0 | ||
| රංගන හේරත් | 40-6-159-1 | ||
| ධනුෂ්ක ගුණතිලක | 7-0-41-0 | ||
| ශ්‍රී ලංකාව - පළමු ඉනිම | |||
| දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.යාදව් | 2 | ||
| උපුල් තරංග - දුවද්දී දැවී ගියා | 64 | ||
| ධනුෂ්ක ගුණතිලක - ඇ.ධවාන් ප.ෂාමි | 16 | ||
| කුසල් මෙන්ඩිස් - ඇ.ධවාන් ප.ෂාමි | 0 | ||
| ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී | 54 | ||
| නිරෝෂන් දික්වැල්ල - ඇ.මුකුන්ද් ප.අශ්වින් | 8 | ||
| ඩිල්රුවන් පෙරේරා - නොදැවී | 6 | ||
| අතිරේක (පා.ල.-3, ව.ප.-1) | 4 | ||
| එකතුව ඕවර 44 කදී කඩුලු 5 ක් දැවී | 154 | ||
| කඩුලු වැටීම | |||
| 1-07(කරුණාරත්න), 2-68(ගුණතිලක), 3-68(මෙන්ඩිස්), 4-125(තරංග), 5-143(දික්වැල්ල) | |||
| පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ | |||
| ළහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ රංගන හේරත් | |||
| පන්දු යැවීම | |||
| මොහොමඩ් ෂාමි | 9-2-30-2 | ||
| උමේෂ් යාදව් | 8-1-50-1 | ||
| රවිචන්ද්‍රන් අශ්වින් | 18-2-49-1 | ||
| රවීන්ද්‍ර ජදේජා | 9-1-22-0 | ||
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පරතරය මේ වන විට ලකුණු 446 කි. එහෙත් මෙම ලකුණු 446 ආවරණය කරගැනීම සඳහා ශ්‍රි ලංකා පිල සතුව ඇත්තේ තවත් කඩුලු 4 ක් පමණි. මක්නිසාද යත් අසේල ගුණරත්නට පන්දුවට පහර දිය නොහැකි බැවිනි.
තරගයේ පළමු දිනය අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 399 ක් ලබා සිටි ඉන්දියානුවෝ තමන්ගේ ඉලක්කය කරා අවතීර්ණ වීමට මුහුණ දුන්නේ ඕවර 43 ක් පමණි. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 4 ක් ලබා සිටියදී ලැබුණු වාසනාව නිසා අපහසුතාවකින් තොරවම ලකුණු 600 ට ළඟා වූ ඉන්දියානුවෝ විනාඩි 10 ක් යාමටත් ශ්‍රී ලංකා පිලේ කඩුල්ලක් බිම දමමින් තර්ජනය ආරම්භ කළහ.
ඉන්දීය පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 401 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබේ. එහෙත් උඩපන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථියක් බිඳගත් අසේල ගුණරත්නට පන්දුවට පහර දිය නොහැකි බැවින් පිතිකරුවන් 10 දෙනකුගෙන් ලකුණු 401 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වීමෙන් පසුව යැවුණු දෙවැනි ඕවරයේදීම උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න දැවී ගියේය. පා ආවරණයෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ දිමුත් ලකුණු 2 කට දැවී ගියා පමණක් නොව, විනිසුරු තීරණය විමසීමට යාමෙන් ශ්‍රී ලංකා ඉනිම පුරාම ඇති විතීවි අවස්ථා දෙකින් එකක් ගාලු කොටු පවුර අසළින් මුහුදට වීසිකර දැම්මේය.
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන හර්දික් පාණ්ඩ්‍යා මෙම තරගයට එක්වූයේ ඉන්දිය පිලේ ප්‍රබලතම පිතිකරුවකු වන රෝහිත් ෂර්මාට ස්ථානය අහිමි කරමිනි. එක්දින අන්තර්ජාතික තරග වලදීත් ලකුණු 42 කට වැඩි සාමන්‍යයක් රඳවාගෙන සිටින පාණ්ඩ්‍යයා, සිය මංගල ටෙස්ට් ලකුණ ලබාගත්තේ රංගන හේරත්ගේ පන්දුවක් අසුරු සැණින් හතරේ සීමාවට යවමිනි.
මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 7 කට 509 ක් ව තිබියදී රංගන හේරත්ගේ පන්දුවකට ලැබුණු පහසු උඩපන්දුවක් ස්ලිප්හි සිටි දිමුත් කරුණාරත්න අතින් ගිළිහී ගියේ ඒ වන විට ලකුණු 4 ක් පමණක් ලබා සිටි හර්දික් පාණ්ඩ්‍යාට වාසනාව උදාකර දෙමිනි. එතැන් සිට පසුපස නොබැලූ පාණ්ඩ්‍යා පන්දු 48 කදී ලකුණු 50 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සහ දැවැන්ත හයේ පහර තුනක්ද සමගිනි. පසුව මොහොමඞ් ෂාමි සමග එක්වන පාණ්ඩ්‍යා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනඟන්නේ පන්දු 51 කිනි. මෙම සම්බන්ධතාවට අයත් ලකුණු 36 ක් වාර්තා වන්නේ හයේ පහර වලිනි.
පෙරවරුවේදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ඉතා විශිෂ්ට ගනයේ පන්දුවකින් චෙටේස්වාර් පුජාරාගේ ඉනිම ලකුණු 153 දී නතර කර දැමීය. අජින්ක්‍යා රහනේ සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් පැවැත්වූ පුජාරා විනාඩි 382 ක අලංකාර පිතිහරඹයකින් පසුව පිටියෙන් ඉවත්ව ගියේ හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමෙන් පසුවය.
කෙටි පන්දුවක් උපයෝගී කරගනිමින් රවිචන්ද්‍රන් අශ්වින් දවාගත් නුවන් ප්‍රදීප් තමාගේ 25 වැනි ටෙස්ට් තරගයේදී පළමු වතාවට ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ වසර දෙකකට ඉහතදී කොළඹ එස්. එස්. සී. පිටියේදී ඉන්දියානුවන්ටම එරහිව කඩුලු 62 කට කඩුලු 4 ක් දවාගැනීමයි.
ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.