Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රබ්සෝල් තනි අතින් ලෝක කුසලානය උදුරා ගනී

ශ්‍රබ්සෝල් තනි අතින් ලෝක කුසලානය උදුරා ගනී

Nisanka Sandeepani - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආන්ය්‍යා ශ්‍රබ්සෝල්ගේ (46/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 9 ක ජයක් හිමිකරගත් එංගලන්තය සිවුවැනි වරටත් ලෝක කුසලාන දිනා ගැනීමට සමත් විය.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තම මව් රටේදී ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි. 

තරගාවලියේ අවසන් මහ තරගය ඊයේ (23 වැනිදා) ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

ජයග්‍රහණය සදහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීයාවට ඕවර 48.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 219 න් පමණි. කඩුලු 3 කට ලකුණු 191 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක සිටි ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණය සදහා පන්දු 44 කදී අවශ්‍ය වූයේ ලකුණු 38 ක් පමණි. 

නමුත් නොසිතු ලෙස ක්‍රියාත්මකවූ ආන්ය්‍යා ශ්‍රබ්සෝල්ගේ සහ ඇලෙක්ස් හේට්ලි ලකුණු 10 ක් තුළ කඩුලු හතරක් දවාගනිමින් ඉන්දීය ක්‍රීඩිකාවන් අන්දමන්ද කිරීමට සමත් වුහ. ඉන් කඩුලු තුනක්ම හිමිවූයේ ආන්ය්‍යා ශ්‍රබ්සෝල්ටය.

අටවැනි කඩුල්ල සදහා ලකුණු 17 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දීප්ති ශර්මා සහ ශිඛා පාන්ඬේ ජයග්‍රහණය දෙසට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුකර ගනිමින් ශිඛා පාන්ඬේ දවාගැනීමට ආන්ය්‍යා ශ්‍රබ්සෝල් සහ සාරා ටේලර් සමත් වූහ. 

ඒ සමගින් නැවතත් ක්‍රියාත්මකවූ ආන්ය්‍යා ශ්‍රබ්සෝල් අවසන් කඩුලු දෙක ලකුණක් තුළ දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කර දැමුවාය.

ජය්‍රහණයට අඩිතාලම දමමින් ඉන්දිය කණ්ඩාය ඉදිරියට රැගෙන ගිය පුනම් රාවුට් පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 86 ක් රැස් කිරීමට සමත්වූ අතර 10 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 75 කදී වාර්තා විය. 

පුනම් රාවුට් සමගින් පන්දු 128 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හාර්මන්ප්‍රීත් කෞර් පන්දු 80 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 51 ක් රැස්කිරිමට සමත් වූවාය. කෞර් සිය එක්දින දිවියේ රැස්කළ 10 වැනි අර්ධ ශතකයයි.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 56 කදි ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට පුනම් රාවුට් සහ වේදා ක්‍රිෂ්ණමූර්ති (35) සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණි. 

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට ලක්වූ එංගලන්ත පිතිකාරිනියන්ට සාර්ථක ලකුණු සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාවක් හිමි නොවූ අතර ජූලාන් ගෝස්වාමී ඕවර 10 ක් තුළ නිලකුණු ඕවර තුනක් සමගින් ලකුණු 23 කට කඩුලු තුනක් සහ පූනම් යාදව් ඕවර් 10 ක් තුළ ලකුණු 36 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නවවැනි එක්දින අර්ධ ශතකය රැස්කළ නතාලි ෂිවර් දැවීයන විට පන්දු 68 කදි හතරේ පහර පහක් සමගින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත් වූවාය.

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 228
(ලොරේන් වින්ෆීල්ඞ් 24, ටැමී බියුමවුන්ට් 23, සාරා ටේලර් 45, නතාලි ෂිවර් 51, කැතරින් බ්‍රන්ට් 34, ජෙනී ගන් නොදැවී 25, ජූලන් ගෝස්වාමී 23/3, පූනම් යාදව් 36/2)

ඉන්දියාව - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 219
(පුනම් රාවුට් 86, හාර්මන්ප්‍රීත් කෞර් 51, වේදා ක්‍රිෂ්ණමූර්ති 35, ආන්ය්‍යා ශ්‍රබ්සෝල් 46/6, ඇලෙක්ස් හේට්ලි 58/2)

 


අදහස් (0)

ශ්‍රබ්සෝල් තනි අතින් ලෝක කුසලානය උදුරා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.