Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරග හෙට ඇරඹේ

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරග හෙට ඇරඹේ

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී හෙට (24) ආරම්භ වේ.

මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන මෙවර තරගාවලිය ජූලි මස 23 වැනිදා අවසන් වේ. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය බි්‍රස්ටල්හිදීද, එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය ඩර්බිහිදීද, හෙට (24) පැවැත්වේ.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 8 මෙවර තරගාවලියට සහභාගි වෙයි.

පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එක රටක් සෙසු සියලුම රටවල් සමඟ තරග කරයි. ඒ අනුව කණ්ඩායමක් තරග හතකට සහභාගි වෙයි. පළමු වටයේ වැඩි ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

පළමු වටයේ සහ අවසන් පූර්ව තරග බි්‍රස්ටල්, ඩර්බිහි, ටෝන්ටන්හිදී සහ ලෙස්ටර්හිදී යන නගර වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය ජූලි මස 23 වැනිදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එංගලන්තයේදී 1973 වසරේ ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මේ දක්වා පැවැති තරගාවලිය 10 යේදී ඕස්ටේ්‍රලියාව හය වතාවක් ශූරියන් වී ඇති අතර එංගලන්තය තුන්වරක් ශූරතාව දිනා තිබේ. නවසීලන්තය එක වතාවක් ශූරතාව දිනාගැනීමට සමත්ව තිබේ.

ඉන්දියාවේදී 2013 වසරේ පැවැති අවසන් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල ශූරතාව දිනාගත් අතර බටහිර ඉන්දීය කොදෙව් පිල අනු ශූරතාව හිමිකර ගත්තේය.   

මෙවර තරගාවලියට ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහභාගි වෙයි.
ශ්‍රී ලංකා පිලට හිටපු නායිකාවන් වන ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු සහ චමරි පොල්ගම්පොළද සමගින්  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, ශ්‍රීපාලි වීරක්කොඩි සහ උදේෂිකා ප්‍රබෝදනී ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයට ජූලි මස 15 වැනිදා පාතිස්තානයට එරෙහිව සහභාගි වීමට නියමිතය.  


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප්‍රබෝදනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි පොල්ගම්පොළ සහ චන්දිමා ගුණරත්න

 


අදහස් (0)

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරග හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.