Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රූපවාහිනී විකාශන අයිතිය අඩු මුදලකට

රූපවාහිනී විකාශන අයිතිය අඩු මුදලකට

Dilrukshi - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන නිල රූපවාහිනී විකාශන හිමිකරු වන ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනය ඉතාමත් අඩු මුදලක් දීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයක රූපවාහිනි විකාශන අයිතිය ඩොලර් මිලියන 2.3 ක් පමණ වටිනාමක් ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 7 ක පමණ මුදලක් බලාපොරොත්තුවෙන් සිටියි.
කෙසේ වෙතත් ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනය මේ සඳහා ගෙවීමට යෝජනා කර ඇත්තේ ඩොලර් මිලියන 1.4 ක් වන ඉතාමත් අඩු මුදලකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තරග සංචාර ලැයිස්තුවට ඇතුළත් නොවූ තරගාවලියක් වන මෙම තරගාවලියේ විකාශන අයිතිය විකිනීම සඳහා ක‍්‍රිකට් ආයතනය කළ ප‍්‍රසිද්ධ දැන්විමට අනුව ලෝකයේ ප‍්‍රධානතම රූපවාහිනි ආයතන ටෙන්ඩර් පත‍්‍රිකා ලබාගත්තද ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනය පමණක් මෙම ලංසුව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඉන්දීය සංචාරයක් පිළිබඳව සෙසු රූපවාහිනි ආයතනවල අඩු සැලකිල්ල විශ්මයට හේතු වන බවයි.

”ටෙන්ස්පෝට්ස් ආයතනය ඉදිරිපත් කර තිබූ මේ මිල පිළිබඳව අපි පුදුමයට පත්වුණා”
”අපි ටෙන්ස්පෝට්ස් ආයතනයට තරගයේ දැනුම් දුන්නා මේක මේ විදියට කරන්න බෑ කියලා. එහෙම වුණොත් වෙනත් ආයතනයට දෙන්න වෙයි කියන එකත් අපි කිව්වා” යැයි ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කළ විමසුමකදී ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා මෙසේ පැවසීය.

”ටෙන්ස්පෝට් ආයතනය එම තරගාවලියේ තරගවලට ඉතාමත් අඩු මුදල් යෝජනා කරලා තියෙනවා. නමුත් මම කිව්වා ඒකට අපි එකඟ නෑ කියලා. ඉදිරි දින දෙක තුන තුළදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එම නියෝජිතයා ඩුබායිවල ඉන්නවා කියලයි කිව්වේ’’ යැයි වෙත්තමුණි මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම සංචාරයේ රූපවාහිනි විකාශන අයිතිය ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනයට ලබාදීමට මුලදී ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විරෝධය දක්වා ඇති බවත් අනතුරුව සාකච්ඡා මාර්ගයෙන් එය විසදාගෙන තිබේ.

‘ටෙන්ස්පෝට්ස්’ ඉදිරිපත් කර ඇති අඩු ලංසුවත් සමඟ ඉන්දීය ක‍්‍රිකට් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා වැඩි මිලකට රූපවාහිනි සහකරුවකු සොයා දීමට ඉදිරිපත් වී සිටින බවද දැනගන්නට තිබේ. එය එසේ වුවහොත් ඩොලර් මිලියන 2.3 ක් පමණ වැඩි මිලක් විය හැකිය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රකාශකයකු පැවසුවේ අවශ්‍යතාවක් වුවහොත් තරග සජීවී විකාශය කිරීම සඳහා අවශ්‍ය පරිදි රූගතකිරීමේ හැකියාව තම ආයතනය සතු බවයි.
”මෙහිදී අපිට අවශ්‍ය වෙනවා ‘හෝක් අයි’ සහ ‘සුපර් ස්ලෝමෝ’ යන තාක්‍ෂණය ලබා ගන්න. එය සිංගප්පූරුවේ

බ්‍රෝඩ්කාස්ට් සොලියුෂන්ස් කියන ආයතනයෙන් කුලී පදනම මත ලබාගත හැකියි’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.මෙම ටෙස්ට් තරගාවලියට තරග තුනක් ඇතුළත්ව වන අතර ඊට පෙර තුන්දින පුහුණු තරගයක් ද පැවැත්වේ.

 


අදහස් (0)

රූපවාහිනී විකාශන අයිතිය අඩු මුදලකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.