මේ වන විට ලෝකයේ සිටින වඩාත්ම ශක්තිමත් පිතිහරඹ ලැයිස්තුවකින් සමන්විත ඉන්දීය පිලට එරෙහිව තරග බිමට පිවිසීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ මූලික උපායයන් ගැන නැවත සිතා බැලීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
ලන්ඩනයේ ද ඕවල් ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට පෙර සංගක්කාර තමන්ගේ රටේ කණ්ඩායමට මේ උපදෙස් දෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වෙබ් අඩවියට තීරු ලිපියක් ලියමිනි.
ක්‍රිකට් ක්‍රීඩව පිළිබඳ හසල දැනුමකින් හෙබි 39 හැවිරිදි මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා එසේ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ධනාත්මක මානසික රාමුවක සිටිමින් සාර්ථක ඵල නෙලා ගනු ඇතැයිද බලාපොරොත්තුවෙනි.
තරගාවලියේ පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම නිසා ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවතීම හෝ නැතිවීම තීරණය කෙරෙන තරගයක් වී තිබේ.
ඉන්දියාවට එරෙහි තරගය ජයගතහොත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් සඳහා බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. එසේ නොවුණහොත් එංගලන්තයට යාමට පෙර සති දෙකක් පුරා පල්ලෙකැළේදී කළ පුහුණුවීම් මෙන්ම විදේශීය පුහුණුකරුවන් ගෙන්වා ගනිමින් කළ සියලු සූදානම වතුරේ යාමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට සූදානම් වෙමින් සිටින්නේ තරගාවලිය ආරම්භයේ සිටම වරින් වර මුහුණපෑමට සිදුවී තිබූ අලකලංචි රැසක් මැදිනි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිලට මේ ජ්‍යෙෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩකයාගේ දායකත්වය අහිමිවූයේ තරගාවලිය ආරම්භ කිරීමටත් පෙරය.
පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු තරගයේදී නායකත්වයේ වැඩ බැලුවේ උපුල් තරංගය. එහෙත් එම තරගයේදී නියමිත කාලය තුල ඕවර 50 සම්පූර්ණ කිරීමට අසමත්වූ නිසා උපුල් තරංගට දඩයකට අමතරව තරග 2 ක තහනමක් පැනවීමෙන් හෙට තරගයට පමණක් නොව පාකිස්තානය සමග තරගයටත් ඔහුගේ සහභාගීත්වය අහිමි විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල වෙතින් වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කී තරංගගේ අඩුව හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලට සෑහෙන්න දැනෙන එකකි. මැතිව්ස්ට හෙට තරගයටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබෙන්නේ නම් ශූරයන්ගේ කුසලානයට හිමිකම් කියන ඉන්දියාව පරාජය කිරිමට කිසිම අවස්ථාවක් නොමැති බවද සංගක්කාර ඔහුගේ තීරු ලිපියේ අනාවැකියක් පළ කර තිබිණ.
එසේ වුවත් පෙරේදා සිටම ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම්වලට එක්ව සිටි මැතිව්ස් හෙට තරගයේදී පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ. ඔහුගේ පාදයේ කලව මස්පිඬුවේ පවතින මෙම ආබාධය කාලයක් පුරා පවතින්නකි. එබැවින් පන්දු නොයැවීම මැතිව්ස් පිතිකරුවකු වශයෙන් හෝ කණ්ඩායමේ රඳවා ගැනීමේ අටියෙන් වෛද්‍ය උපදෙස් අනුව කරන්නකි. පසුගිය අගෝස්තු මාසයේ සිට කණ්ඩායමට එක්නොවූ මැතිව්ස්ගේ පැමිණීම සෙසු ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තරමක් සැහැල්ලු කරවන සුලු එකක් වූවත් අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් හෙට තරගයේදී ඉන්දියාව මෙල්ල කළ යුතුමය.
“මැතිව්ස් හෙට තරගයට ක්‍රීඩා කළත්, නියමිත කාලය තුල ඕවර ප්‍රමාණය සම්පූර්ණ කිරීමේ තරවටුව අවධානයට ලක්විය යුතු ප්‍රධාන කාරණාවක් වේවි. තරංගගේ තරග තහනම විශාල පාඩුවක්.” සංගක්කාර එසේ ලියයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී නුවන් ප්‍රදීප් ඇතුලු ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන් දැරූ මහන්සිය ගැන සංගක්කාර ප්‍රශංසා කළද පළමු ඕවර 10 ඇතුළත කඩුලු දවාලීමට ඇති නොහැකියාවේ ප්‍රතිවිපාක වඩාත් බරපතළ වනු ඇත. ඉන්දියාව වැනි ශක්තිසම්පන්න පිතිහරඹ ලැයිස්තුවක් ඇති කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමේදී එහි වාසි අවාසි හඳුනාගත හැකිය.
නිරතුරුවම ප්‍රධාන තරගාවලි අතර කැපී පෙනෙන ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවන්ගේ බලපරාක්‍රමය යළි හිස ඔසවමින් ඇති බව පාකිස්තානය සමග පැවැති පළමු තරගයේදී ඔවුහු තහවුරු කළහ. එදා තරගයේදී රෝහිත් ෂර්මා (ලකුණු 91) සහ ශිකර් ධවාන් (ලකුණු 68) එක්ව පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව 136 කි. ඕවර 25 ක් වනතුරු පළමු කඩුල්ල ගලවා දැමීමට පාකිස්තානුවන්ට නොහැකි විය.
අන්තර්ජාතික එක්දින පිටියේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 264 ක් වාර්තා කළ රෝහිත් ෂර්මා 2014 වසරේ නොවැම්බරයේ කල්කටා නුවර දී එම වාර්තාව තැබුවේ ශ්‍රී ලංකාවට එරෙහිවය. එය ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාව සමග එක්දින තරගමාලාවකට ක්‍රීඩා කළ අවස්ථාවයි. වසර 2014 අගභාගයේ ඉන්දියාවේ පැවැති එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරග 5-0 ක අන්ත පරාජයක් අත්විය.
(ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි)
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.