Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

මුම්බායි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (5 වැනිදා) පැවැති තරගය කඩුලු 9 කින් ජයගැනීමට මුම්බායි පිල සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් අතර සම තත්වයට පත්වුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි පිල සමත්විය.

මූලික වටයේ අවසන් තරගය ලෙස පැවැති මෙම තරගය පරාජයට පත්වූ කොල්කටා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය වනතෙක් බලාසිටි හයිඩ්‍රාබාද් පිලට, කොල්කටා පිලේ පරාජයත් සමගින් තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි පිල තවත් පන්දු 23 ක් ඉතිරිව තිබියදීම එක් කඩුල්ලක් පමණක් අහිමිකරගනිමින් ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නායක රෝහිත් ෂර්මා ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 48 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සූර්යකුමාර් යාදව් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් මුම්බායි පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
දෙවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 88 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදව් සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ලකුණු 133 කට සීමාකිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත්වූහ.

ආරම්භක පිතිකරු ක්‍රිස් ලයන් පන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත්තද සෙසු පිතිකරුවන් මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූහ.

පන්දු 47 කට මුහුණදුන් රොබින් උතප්පා හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළද මුම්බායි පිතිකරුවන්ට තර්ජනයන් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා කොල්කටා පිල රැගෙන යාමට ඔහු අපොහොසත් විය.

ප්‍රභල පිතිකරුවන්වූ ඩිනේෂ් කාර්තික් ලකුණු 3 කට දවාගත් ලසිත් මාලිංග, ඇන්ඩි්‍ර රසල් මුහුණදුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට සමත්විය. පිට පිට දැවීගිය එම කඩුලු 2 හේතුවෙන් කොල්කටා පිල දැඩි අසීරූතාවයකට ලක්විය.

ලසිත් මාලිංග කඩුලු 3 ක් ද ජස්ප්‍රීට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය ලැබූ මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 133
(ක්‍රිස් ලයන් 41, රොබින් උතප්පා 40, නිතිෂ් රානා 26, ලසිත් මාලිංග 35/3, ජස්ප්‍රීට් බුම්රා 31/2, හර්දික් පාණ්ඩ්‍යා 20/2)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 16.1 කදී කඩුල්ලක් දැවී 134
(රෝහිත් ෂර්මා නොදැවී 55, සූර්යකුමාර් යාදව් නොදැවී 46, කුයින්ටන් ඩි‘කොක් 30)

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

මුම්බායි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.