Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි පිල සුපිරි ඕවරය ජයගනී

මුම්බායි පිල සුපිරි ඕවරය ජයගනී

ශනුක අරවින්ද - 2019 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 51 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (2 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටද මුම්බායි කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ 162 ක් පමණි. ඒ අනුව තරගය දෙපිලේම ලකුණු සම වීමෙන් නිමාවට පත් වූ අතර ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවූ අතර හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා මනීෂ් පාණ්ඬේ සමගින් මොහොමඞ් නබී පිටියට පිවිසියහ.

පළමු පන්දුවේදී දෙවැනි ලකුණු කරා දිවයමින් සිටියදි මනීෂ් පාණ්ඬේ දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කෘනාල් පාණ්ඬේ සමත් වීමත් සමග හයිද්‍රාබාද් කණ්ඩායමට පළමු කඩුල්ල අහිමි විය. නවක පිතිකරුවා ලෙස පිටියට පිවිසි මාටින් ගප්ටිල්ට දෙවැනි පන්දුවේදී ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. තෙවැනි පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවීමට මොහොමඞ් නබී සමත් වුවද, සිව්වැනි පන්දුවේදී නබීගේ කඩුල්ල බිඳ දැමූ බුම්රා හයිද්‍රාබාද් කණ්ඩායමේ සුපිරි ඕවරය ලකුණු 8 කට සීමා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 9 ක් හඹායෑමට මුම්බායි කණ්ඩායමේ හර්දීක් පාණ්ඩ්‍යා සහ කිරන් පොලාඞ් පිටියට පිවිසි අතර හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඕවරය යැවීමේ අවස්ථාව රෂීඞ් ඛාන්ට හිමිවිය. රෂීඞ්ගේ පළමු පන්දුවටම හයේ පහරක් ගැසූ හර්දීක් පාණ්ඩ්‍යා දෙවැනි පන්දුවේදී ලකුණක් සඳහා පැති මාරු කරගත්තේය. තෙවැනි පන්දුවේදී ලකුණු 2 ක් ලබාගත් කිරන් පොලාඞ් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

හයිද්‍රාබාද් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මනීෂ් පාණ්ඬේ පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කළ අතර අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් සම තත්වයටද පත්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තේය. මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ක්වින්ටින් ඩි’කොක් පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කළේය.

සූර්යකුමාර් යාදව් (23) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් විය. පන්දු 17 කදී වාර්තා වූ යාදව්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 5 කට 162
(රෝහිත් ශර්මා 24, ක්වින්ටින් ඩි’කොක් නොදැවී 69, සූර්යකුමාර් යාදව් 23, හර්දීක් පාණ්ඩ්‍යා 18, ඛලීල් අහමඞ් 42/3)   

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 කට 162
(රිධිමන් සාහා 25, මාටින් ගප්ටිල් 15, මනීෂ් පාණ්ඬේ නොදැවී 71, මොහොමඞ් නබී 31, හර්දීක් පාණ්ඩ්‍යා 20/2, කෘනාල් පාණ්ඩ්‍යා 22/2, ජස්ප්‍රීත් බුම්රා 31/2)

සුපිරි ඕවරය

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - පන්දු 4 කදී කඩුලු 2 ක් දැවී 8

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම - පන්දු 3 කදී කිසිවකු නොදැවී 9


-036


අදහස් (0)

මුම්බායි පිල සුපිරි ඕවරය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.