ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් හැකියාවක් ඇත්නම් ඉන්දියාවට එරෙහිව අද (8 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස තමන්ගේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිව්ස් මෙම ඉල්ලීම කර ඇත්තේ නිල නොවන ආකාරයෙන් මෙන්ම ඉතාමත් සුහද ලෙසිනි. ඔහුගේ ස්වරයේ රැඳී ඇත්තේද කවට කමට කරන ලද ඉල්ලීමක ස්වභාවයකි.
“මම හැම තිස්සෙම එයාගෙන් එහෙම අහන්න පෙළඹෙනවා. මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහැව්වා අනේ ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා....එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ” යයි ලන්ඩන් ඕවල් පිටියේදී ඊයේ (7 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් හෙළිදරව් කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර දෙකක් ගතවූ නමුත් කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ‘සරේ’ ප්‍රාන්ත පිල වෙනුවෙන් අති විශිෂ්ට දස්කම් දක්වමින් සිටී.
සංගක්කාර මෙවර තරග වාරයේ තරග 4 කදී ඉනිම් 7 ක් තුළ (46, 136, 105, 114, 120, 200, 84) ලකුණු 805 ක් රැස්කිරීමට සමත්ව සිටින අතර එහිදී ඔහුගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය සටහන් වන්නේ 115 ක් ලෙසිනි. මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස්හිදී පැවැති තරගයේදී ඉනිම දෙකේදීම ශතක ලබාගත් සංගක්කාර ඊළඟ තරගයේදී එසෙක්ස් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත්තේය. සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පිට පිටම පළමු පෙළ ශතක 5 ක් ලබාගත් සංගක්කාර 6 වැනි පළමු පෙළ ශතකය ලබාගැනීමට යාමේදී ලකුණු 84 දී දැවී ගියේය.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගය ජයගත යුතුම තත්ත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව සිටී. මෙම තත්ත්වය නායක ඇන්ජලෝ මැතිව්ස් පීඩනයට පත්කරවන්නකි.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගතහොත් පමණක් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකිය. එසේ වුවත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තුවාල ලැබීමත් උපුල් තරංගට තරග තහනමක් පැනවීමත් නිසා කණ්ඩායම දුර්වල වී සිටින ආකාරය පිළිබඳ නායක මැතිව්ස්ගේ කණස්සල්ල එන්න එන්නම වැඩිවී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවැත්වෙන ලන්ඩන් ඕවල් පිටිය හිමි සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් දස්කම් දක්වන ක්‍රීඩකයකුගේ සේවය ජාතික කණ්ඩායමට අහිමි වී තිබීම පිළිබඳව නායකයා කණස්සල්ලට පත්වීමත් නැවතත් කණ්ඩායමට එක්වන ලෙස ඔහුට ආරාධනා කිරීමට පෙළඹීමත් පුදුමයක් නොවේ.
“ඔහුට තියෙන්නේ සිහිනයක් වගේ තරග දිවියක්. ඒ වගේ කෙනෙක් තවදුරටත් අපිත් එක්ක නැතිවීම අවාසනාවක්. ඒත් ඔහු හැම වෙලාවෙම අපට උදව් කරන්න සූදානමින් ඉන්නවා”
“මේ වගේ තණතීරුවල අපි සෙල්ලම් කරන්න ඕනෑ කොහොමද කියන එක ගැන අපි කතාකරමින් හිටියා. විශේෂයෙන්ම මේක ඔහුගේ ප්‍රාන්ත ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය...තරුණ ක්‍රීඩකයන්ට වගේම මටත් ඔහු බොහෝ දේ කියා දුන්නා...ඇත්ත, ඔහුගේ සේවය අපට නැතිවීම අවාසනාවක් තමයි. ඒ නිසා ඒ වගේ කෙනෙකුට නැවත එන්න කියා ආරාධනා කරන්න පෙළඹෙනවා” යයිද ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මැතිව්ස් පැවසීය.
වර්තමානයේදී ඉන්දීය පිල සමග සංසන්දනය කිරීමේදී තමන්ගේ කණ්ඩායම බෙහෙවින් දුර්වල බව මැතිව්ස් පිළිගනී. එහෙත් ඔහුට ඕනෑ කරන්නේ තමන්ගේ ක්‍රීඩකයන් පිටියට පිවිසීමෙන් පසුව ආක්‍රමශීලී ලෙසින් නොබියව ක්‍රීඩා කිරීමයි.
“අපි මේ තරගාවලියට ආවේ කාගෙ කාගෙනුත් පහර කෑමට ඉඩ තිබෙන කණ්ඩායමක් හැටියටයි කියන එක මා පළමු පුවත් පත් සාකච්ඡාවේදීම කිව්වා. මා කියන්නේ...මේ තරගාවලිය ජයගැනීමට අපි සමත් වේවි යයි කවුරුත් කියන්නේ නෑ. ඒ නිසාම ක්‍රීඩකයන්ට තියෙන පීඩනය අඩුයි”
“ඒත් පීඩනය හැම වෙලාවෙම තියෙනවා. මේ පීඩනයත් එක්ක ගනුදෙණුව පවත්වාගෙන යන්න ඕනා. කණ්ඩායමක් වශයෙන් එකට ඉන්න ඕනා....පසුගිය වසරක නැත්නම් දෙකක කාලය පුරා අපි ඉන්නේ කණ්ඩායම ගොඩනඟන වකවානුවක කියන එක ඇත්ත තමයි. අපට විශිෂ්ට ක්‍රීඩකයන් හිටියා. ඔවුන් සමුගෙන ගියාට පස්සේ අපි හිමින් හිමින් නැවත ගොඩනැඟෙමින් ඉන්නවා...ඒත් නිසැක වශයෙන්ම අපි ඉදිරියේදී හොඳින් දස්කම් අතරට එනවා” යයිද මැතිව්ස් පැවසීය.
2015 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්හ. එතැන් සිට කණ්ඩායම ගමන් කළ ආකාරය විස්තර කිරීමට මැතිව්ස්ට වචන මදිවිය. එදා මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 39 න් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර ඇත්තේ තරග 13 ක් පමණි.
“ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩනැඟීමට අපේක්‍ෂා කළාට වඩා දීර්ඝ කාලයක් ගතවී තිබෙනවා. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිටම ලැබුණ ප්‍රතිඵලත් ඒ තරම් සිත් ඇදගන්නා සුළු නෑ. කණ්ඩායම ගොඩනැඟීමේ ක්‍රියාවලියට මේ තරම් කාලයක් ගන්නේ ඇයිද කියා ඔබට පහදා දෙන්න පුළුවන්ද?...ක්‍රීඩකයන් දියුණු වෙන්නේ නැතිද නැත්නම් තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ සේවය අහිමි වෙනවාද? යයි මාධ්‍යවේදීහු මැතිව්ස්ගෙන් ප්‍රශ්න කළහ.
“ඒක උත්තර දෙන්න ඒ තරම් පහසු ප්‍රශ්නයක් නෙමේ” යයි කී මැතිව්ස්....
“ඒ පරිණත බව ලැබෙන්නේ පළපුරුද්දත් එක්කයි. මේ හාදයෝ ටික දිනෙන් දින ඉගෙන ගන්නවා. ඔබ ඔවුන් දිහා බැලුවොත් ඔවුන් වැඩි දෙනෙක් ඒ තරම් කාලයක් අන්තර්ජාතක ක්‍රිකට් පිටියේ ඉඳලා නෑ. වැඩි වැඩියෙන් සෙල්ලම් කරන්න කරන්න වැඩි වැඩියෙන් ඉගෙන ගැනෙනවා. අපි වුණත් අපේ තරග දිවිය පුරාම ඉගෙන ගන්නවා”
“හැම දේකින්ම යමක් ඉගෙන ගැනීම තමයි වෙන්න ඕනේ. හැම කෙනෙක්ම තම තමන්ගේ කාර්යය ගැන වැටහීමක් ඇතිව කටයුතු කරන්නත් ඕනේ. මොකද හැම දේම අපට ඕනෑ විදිහට වෙන්නේ නෑ. ඒවා අපට ඕනෑ විදිහට හදාගන්න ඕනා විතරක් නෙමේ ඒක ඉක්මනින් කරන්නත් ඕනේ” යයිද ශ්‍රී ලංකා නායකයා පැවසීය.
සියල්ල තමන්ට රිසි අයුරින් සකස් කරගැනීම පිළිබඳව පැහැදිළි අදහසක් මැතිව්ස්ට තිබේ. අදහස කුමාර් සංගක්කාරගේ වුවද මැතිව්ස් එය අනුමත කරයි. කුමාර් සංගක්කාර මෙම අදහස පළකර සිටියේ දින කිහිපයකට ඉහතදී සුප්‍රකට ‘ස්පෝට්ස් ස්ටාර්’ සඟරාවට අදහස් පළකරමිනි.
කෙටිකාලීන වශයෙන් එය සාර්ථක වීමටද ඉඩ තිබේ. ප්‍රවේසම අතහැර දමා තමන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට අරගෙන ක්‍රීඩා කිරීම එහි මාවතයි.
“මා හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ශෛලිය ඒක තමයි. ආක්‍රමණශීලී විම සහ සුභවාදී වීම තුළින් ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතිකරගැනෙන්නේ නෑ” යයි මැතිව්ස් කියයි.
“මිනිස්සුන්ට ඕනෑ කරන්නේ ඉන්දියාව ඇවිත් අපිව තලලා දානවා දකින්නයි. එතකොට පීඩනය ඉවරයි...ඒත් අපට තියෙන්නේ එතැනට (පිටියට) ගිහින් අපට ඕනෑ ආකාරයට නිදහසේ ක්‍රීඩා කරන එකයි. කුමාර් (සංගක්කාර) නිවැරදිව කියූ ආකාරයටම, අපි එතැනට ගිහින් නිදහසේ ක්‍රීඩා කරන්න ඕනෑ. ආක්‍රමණශීලී වෙන්න ඕනා” යයිද මැතිව්ස් කියයි.
වසර 9 කට ඉහතදී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූයේ පිතිහරඹයට කිසියම් හැකියාවක් ඇති පන්දු යවන්නකු වශයෙනි. සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහි පැවැති තරගයේදී අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසි මැතිව්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් විශ්‍රාම යාමත් සමගම අංක 5 ස්ථානයේ ස්ථාවර පිතිකරුවකු ලෙසින් තම වගකීමට අනුරූපව වෙනස් විය. ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේදී වුවද ඔහු ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු වශයෙන් විනා පන්දු යවන්නකු වශයෙන් නොවේ.
වරෙක තරගයක් අවසාන කරන්නාගේ භූමිකාවට (2011 ලෝක කුසලාන තරගාවලියේදී) අවතීර්ණ වූ මැතිව්ස් 2014 එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ වඩාත්ම ස්ථාවර පිතිකරුවා විය. අනතුරුව ප්‍රචණ්ඩ ප්‍රහාරකයාගේ (විස්සයි:20 තරග) තනතුරත් හෙබවූ මැතිව්ස්ට මේ වන විට ඇත්තේ වෙනස්ම ආකාරයේ වගකීමකි. ඒ සම්බන්ධයෙන් මැතිව්ස්ගේ විග්‍රහයද විවාදාත්මකය.
“මැද පෙළ පිතිකරුවන් අතරේ වගකීම බාරගැනීම මට සාමාන්‍යයන් හුරු දෙයක්. මා වයස 19 න් පහළ ක්‍රීඩා කරන කාලයේ ඉඳලාම, මාව දැම්මේ තරගයක් අවසාන කළ යුතු පිතිකරුවා හැටියට වගේම මැද පෙළ ස්ථාවර කළ යුතු පිතිකරුවා හැටියටයි”
“මගේ කාර්යය...., තරගයෙන් තරගයට වෙනස් වුණත්, එය තරගයේ තත්ත්වය අනුව වෙනස් වෙනවා. ඒක මගේ නියම ක්‍රීඩා රටාවට වඩා වෙනස්. අනෙක මම නායකයෙක් වගේම ක්‍රීඩකයෙක් හැටියටත්..., දවසෙන් දවස ඉගෙන ගනිමින් සිටිනවා. ඒ අත්දැකීම් මාව වඩාත් හොඳ පුද්ගලයෙක් වගේම වඩාත් හොඳ ක්‍රීඩකයෙක් කරනවා” යයි මැතිව්ස් කියයි.
- අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.