Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලින්ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවයි

මාලින්ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවයි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොටු කරන ලද දඩ බිමකට බට පළපුරුදු දඩයක්කරුවන් දෙදෙනකු සේ මහත් නිදහසේ ලකුණු දඩයමේ ගිය ෂිකාර් ධවාන් (119) සහ ලෝකේෂ් රාහුල් (85) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයට අවතීර්ණ වූහ.

ඉන්දියාව - පළමු ඉනිම 
ෂිකාර් ධවාන්  - ඇ.චන්දිමාල් ප.පුෂ්පකුමාර 119
ලෝකේෂ් රාහුල් - ඇ.කරුණාරත්න ප.පුෂ්පකුමාර 85
චෙටේස්වාර් පුජාරා - ඇ.මැතිව්ස් ප.සඳකැන් 8
විරාට් කෝලි - ඇ.කරුණාරත්න ප.සඳකැන් 42
අජින්ක්‍යා රහනේ - ප.පුෂ්පකුමාර  17
රවිචන්ද්‍රන් අශ්වින්  - ඇ.දික්වැල්ල ප.ප්‍රනාන්දු 31
රිදිමන් සහා - නොදැවී  13
හර්දික් පාණ්ඩ්‍යා - නොදැවී  1
අතිරේක (නි.ල.-6, පා.ල.-5, නිප.-2) 13
එකතුව ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී 329
කඩුලු වැටීම 
1-188(රාහුල්), 2-219(ධවාන්), 3-229(පුජාරා), 4-264(රහනේ), 5-296(කෝලි), 6-322(අශ්වින්)
පන්දු යැවීම
විශ්ව ප්‍රනාන්දු 19-2-68-1  
ළහිරු කුමාර 15-1-67-0  
දිමුත් කරුණාරත්න  5-0-23-0  
ඩිල්රුවන් පෙරේරා 8-1-36-0  
ලක්ෂාන් සඳකැන් 25-2-84-2  
මාලින්ද පුෂ්පකුමාර 18-2-40-3  

දිවා ආහාරයෙන් පසුව ලකුණු 134 ක් තුළදී කඩුලු 6ක් බිඳ වැටුණ හෙයින් දිනයේ ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 6 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියේය.

තම දෙවැනි ටෙස්ට් තරගයේදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ මාලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා පිල නැවතත් තරගයට කැඳවාගෙන ඒමේ පුරෝගාමියා වෙමින් දිනය අවසන් කරන විට ලකුණු 40 තට කඩුලු 3 ක් දවාගෙන සිටියේය. පුෂ්පකුමාරට අගනා සහයෝගයක් දුන් ලක්ෂාන් සඳකැන් කඩුලු 2 ක් දවාගත් අතර අනෙක් කඩුල්ල විශ්ව ප්‍රනාන්දු සතුවිය.

පෙරවරුවේදී තරගයේ පාලනය සියතට ගෙන සිටි ඉන්දීය පිල මෙම තරගයේදීත් පහසුවෙන්ම ලකුණු 600 ඉලක්කය කරා යාමට සූදානම් වන බවක් දිස්විය. එහෙත් මාලින්ද පුෂ්පකුමාරගේ පන්දු යැවීම නිසා ඒ වෙනුවෙන් වෙහෙසීමට ඉන්දියානුවන්ට සිදුවී තිබේ.

ඉන්දීය ඉනිමේ 39 වැනි ඕවරයේදී පන්දුව අතට ගත් මාලින්ද පුෂ්පකුමාර පිට පිටම කඩුලු දෙකක් බිඳ දැමූ හෙයින් ඕවර හතක් ඇතුළත ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ. සිය තුන්වැනි පන්දුවේදීම ලෝකේෂ් රාහුල් දවාගත් පුෂ්පකුමාරගේ පන්දුවකට ෂිකාර් ධවාන් ගැසූ වේගවත් ස්වීප් පහරකින් ඇදී ගිය පන්දුව විශිෂ්ට උඩපන්දුවක් බවට පෙරළා ගැනීමට ස්ක්වෙයාර් ලෙග් හි සිටි දිනේෂ් චන්දිමාල්ට හැකිවිය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වන තර්ජනයක් නැති බව දුටු ඉන්දීය ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් ඈත කඳු මතින් පාවී එන වැහි වළාකුළුවල තර්ජනයට මුහුණ දීමට කල්වේලා ඇතිවම සූදානම් වූයේ දිවා ආහාරයට පෙර ලකුණු 134 ක් තම පිලට එකතු කරමිනි.

ලකුණු 28 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ‘මිඞ් ඕන්’ හි සිටි ළහිරු කුමාර විසින් බිම දමනු ලැබීම නිසා එම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් ලෝකේෂ් රාහුල් පිට පිටම සිය හත්වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ශ්‍රීමත් එවර්ටන් වීක්ස්, ඇන්ඩි ෆ්ලවර්, කුමාර් සංගක්කාර, ක්‍රිස් රොජර්ස්, සහ ෂිව්නරීන් චන්ද්‍රපෝල් පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී අර්ධ ශතක ලබාගත් පිතිකරුවෝ වෙති.

වෛරස් උණ රෝගයට ගොදුරු වීම නිසා ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ලෝකේෂ් රාහුල්ගේ අවසන් ටෙස්ට් ඉනිම 7 සටහන් වන්නේ 90, 51, 67, 60, නොදැවී 51, 57 සහ 85 ක් වශයෙනි. එහෙත් හත්වැනි අවස්ථාවේදී හෝ ඉලක්කම් තුනේ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තිබූ අවස්ථාව රාහුල් අහිමි කරගත්තේ මිඞ් ඕන්හි සිටි දිමුත් කරුණාරත්ගේ පන්දු රැකීමේ හැකියාව අවතක්සේරු කිරීමේ වරදිනි.

ළහිරු කුමාරගේ පළමු ඕවර තුනේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 26 ක් උදුරා ගත් හෙයින් හත්වැනි ඕවරය යැවීමට දිමුත් කරුණාරත්න කැඳවනු ලැබිණ. කරුණාරත්නගේ පන්දුවකට ලෝකේෂ් රාහුල් ගැසූ පහරින් ඉගිළුණු පන්දුව මිඞ් ඕන් කලාපයට ඉහළින් ඇදී යද්දී ඒ පසුපස දිවගිය ළහිරු කුමාර උඩපන්දුව බිම දැම්මේය. එය මේ වසර ඇතුළතදී ශ්‍රී ලංකා පිල වෙතින් ගිළිහී ගිය 58 වැනි උඩපන්දුව විය.

ටෙස්ට් තරගාවලියේදී පිට පිටම තුන්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. තණතීරුවේ ඊයේ සවස දක්නට ලැබුණ තණකොළ එලෙසින්ම පැවැති නමුත් දෙපිලම දඟ පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා තිබේ.

අද තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා කියා සිටියේ මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් ක්‍රීඩා කිරීමේ සැලැස්මක් ඊයේ සවස පැවැති බවයි.

“ඒත් අන්තිම මොහොතේ තත්ත්වය වෙනස් වුණා. කණ්ඩායමේ සාමූහික තීරණයට හිස නමන්න ඕන නිසා අපි ඒ තීරණය බාරගත්තා” යයිද වාස් පැවසීය.

මෙම තරගයේදී ධනංජය ද සිල්වාට ස්ථානය අහිමි වී තිබෙන අතර පිතිකරු ලයිස්තුවේ වෙනසක් කරමින් ඩිල්රුවන් පෙරේරා අංක 7 ස්ථානයට කැඳවා ඇත. පසුගිය තරග දෙකේදීම 7 : 4 අනුපාතයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී පිතිකරුවකු (ධනංජය ද සිල්වා) ඉවත දමමින් 6 : 5 අනුපාතයට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

මාලින්ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.