Last Update  :  2024-05-08 16:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මට සියලු දෙනාගේ සහයෝගය තියෙනවා

මට සියලු දෙනාගේ සහයෝගය තියෙනවා

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාම තමන්ට සහයෝගය දක්වන බවත් නායකත්වය විශාල අභියෝගයක් බවත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසීය.
 
එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම පිටත්ව යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (06) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක ඉන්නවා. පසුගිය දිනවල පැවැති තත්ත්වය පුහුණුවීම් ආරම්භ කළාට පසුව යථා තත්ත්වයට පත්වුණා. කණ්ඩායමට අලුතින් ආපු ක්‍රීඩකයොත් මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ අය. ඔවුන් පළාත් තරගාවලියේදී දස්කම් දක්වලා තමයි කණ්ඩායමට ආවේ. කණ්ඩායමේ හැසිරීම් රටාව අනුව සැළසුම් හදන්න බලාපොරොත්තු වෙනවා”

“නායකත්වය කියන්නෙ ලොකු අභියෝගයක්. අභියෝගය විශාල වන තරමට ඒක ජය ගන්න පහසුයි. දකුණු අප්‍රිකාවේදී නායකත්වය ලැබෙන විටත් මම නායකයන් සිවුදෙනෙක් යටතේ ක්‍රීඩා කරලා තිබුණා. මට කරන්න පුළුවන් දේවල් කරලා ලෝක කුසලානය රටට ගේන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ” “මට සියලු දෙනාම උදව් කරනවා. මට අනිවාර්යෙන්ම එංගලන්තයට ගියාමත් සහයෝගය ලැබෙයි. මැතිව්ස් සහ මම පාසලේ ඉදන් ක්‍රීඩා කරනවා. අපි දෙන්නා අතරේ හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඔහු මට දැනටමත් හොඳ සහයෝගයක් දෙනවා”

“මාලිංග එක්ක මම කථා කළා. ඔහුගේ සහයොග්ය තියෙනවා. අයි.පී.එල්. තරගාවලිය අවසන් වෙලා ඔහු කණ්ඩායමට එකතු වෙනවා. ඉන් පසුව ඔහුත් සමඟ කථා කරනවා”

“මම දැනට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. අවශ්‍ය වුණොත් අංක තුන දක්වා පහළට යන්නත් පුළුවන්”

“ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. අපි එංගලන්තයට ගියාම අපිට ඉන්නේ කණ්ඩායම පමණයි. ඒ නිසා සියලු දෙනාගෙම සහයෝගය අපිට ඉතාම වැඳගත්” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය. 

“මෙවර කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ලබන විටත් රටේ මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒ වන විට එල්.ටී.ටී.ඊ. බෝම්බ පුපුරණවා”

“මෙවර ලෝක කුසලාන තරගාවලිය අන්කවදාටත් වඩා වැඳගත් වෙලා තියෙනවා. රටක් හැටියට අප කළ යුත්තේ අපි ආදරය කරන ක්‍රිකට් කණ්ඩායම විශ්වාස කරන්න ඕනේ. අපේ කන්ඩායමට හොඳ ආත්මවිශ්වාසයක් තියෙනවා. අපි රටම කණ්ඩායම පිටු පස සිටිය යුතුයි. මෙවැනි අමාරු වෙලාවක තමයි එකතු වෙන්න ඕනේ”

“කණ්ඩායමත් සමඟ ඇමති ආරක්‍ෂක අංශයේ දෙදෙනකු යනවා. ඒ වගේම අයි.සී.සී. එකෙන් විශේෂ ආරක්‍ෂාවක් දෙනවා”

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් උපරිම දස්කම් අතරට පැමිණිය හොත් ලෝක කුසලාන තරගාවලියේ ලොකු දුරත් යා හැකි බවයි.

“එංගලන්තයේදී දින 10 ක පුහුණුව අපි කලින් යොදාගත්ත එකක්. නමුත් අපේ රටේ පසුගිය දින කීපයේ පැවැති තත්ත්වයත් අනුව එම කාලය වඩාත් වැඳගත් වෙලා තියෙනවා”

“අපේ කණ්ඩායම උපරිම දස්කම් අතරට ආවොත් ලෝක කුසලාන තරගාවලියේ ගොඩක් දුර යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ ගැන හිතේ තියාගෙන තමයි වැඩි දින ගණනක් තිබියදී එංගලන්තයට යන්නේ. අපිට ස්කොට්ලන්ත තරග දෙක සහ පුහුණු තරග දෙකත් සමඟ තවත් තරග හතරක් තියෙනවා” යැයි හතුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට නම් කළ 15 දෙනාගේ සංචිතයට අමතරව ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග යන අතිරේක ක්‍රීඩකයෝ ද එංගලන්තය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (07) එංගලන්තය බලාපිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ ක්‍රිකට් මූලස්ථානයේදී ආගමික ආශීර්වාද ලබාගත්තේය. ඉන් පසුව නිල සමූහ ඡායාරූපයට ද පෙනී සිටියේය. 
ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන පළමු තරගය ජූනි මස 01 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, එහි ලේකම් මොහාන් ද සිල්වා සහ තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් යන මහත්වරු ද සහභාගි වූහ.

 
ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්
අතිරේක ක්‍රීඩකයෝ: ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග

 

ඡායාරූප: ශාන්ත රත්නායක


අදහස් (0)

මට සියලු දෙනාගේ සහයෝගය තියෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.