Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැංගලෝර් - රාජස්ථාන් තරගය වැස්සට සේදෙයි

බැංගලෝර් - රාජස්ථාන් තරගය වැස්සට සේදෙයි

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (30 වැනිදා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. 

තරගය ආරම්භ කිරීමට පෙර ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් එහි ඉනිමක් ඕවර 5 කට සීමා කෙරිණ. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 63 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, ඕවර 3.2 ක් අවසානයේ නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවන විට කඩුල්ලක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය. 

දෙවැනි වරට වර්ෂාව ඇද හැළීමෙන් අනතුරුව තරගය අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ලයෑම් ලිවිංග්ස්ටෝන් පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය. 

රාජස්ථාන් ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ආරම්භක පිතිකරු සංජු සැම්සන් පන්දු 13 කදී ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් සැම්සන් දැවී ගියේ යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ පවන් නේගි අතට උඩ පන්දුවක් දෙමිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 5 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 62 ක් රැස්කළ අතර එහිදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ශ්‍රෙයාස් ගෝපාල් සමත් විය. දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී විරාට් කෝලි (25) පිටියෙන් ඉවත් කළ ගෝපාල්, පස්වැනි සහ හයවැනි පන්දුවලදී ඒ.බී. ඩිවිලියස් (10) සහ මාකස් ස්ටොයිනිස් (0) දවාගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. 

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක කෝලි පන්දු 7 කදී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. ඩිවිලියස් පන්දු 4 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක් රැස්කළේය. අවසන් ඕවරය යැවූ ඔෂේන් තෝමස් ලකුණු 6 කට කඩුලු 2 බිඳහෙළුවේ හෙන්රිච් ක්ලාසේන්ගේ ඉනිම ලකුණු 6 කටද, පවන් නේගිගේ ඉනිම ලකුණු 4 කටද සීමා කරමිනි. 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 5 කදී කඩුලු 7 ක් දැවී 62 
(විරාට් කෝලි 25, ඒ.බී. ඩිවිලියස් 10, ශ්‍රෙයාස් ගෝපාල් 12/3, ඔෂේන් තෝමස් 6/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 3.2 කදී කඩුල්ලක් දැවී 41 
(සංජු සැම්සන් 28, ලයෑම් ලිවිංග්ස්ටෝන් නොදැවී 11) 

-036 


අදහස් (0)

බැංගලෝර් - රාජස්ථාන් තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.