මීට පෙර දෙවතාවක් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ඇති එංගලන්ත කණ්ඩායමත් වසර 2006න් පසුව ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කරන කිසිම අවස්ථාවක මූලික වටයෙන් ඉහළට නොගිය බංග්ලාදේශ කණ්ඩායමත් ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තරගයට එක්වන්නේ එකිනෙකා කෙරෙහි දෙගිඩියාවකින් යුතුවය.
සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1 කින් ජයගත් එංගලන්තය සිය දස්කම් තව දුරටත් ඉදිරියට රැගෙන යාමට බලාපොරොත්තු වෙයි. පළමුවතාවට අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැන දක්වා උසස්වීමෙන් ලද උත්තේජනයෙන් පසුවන බංග්ලාදේශය මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වීම සිය අරමුණ කරගෙන සිටී.
මෙම තරගය වසර 2015 ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර ඕස්ට්‍රේලියාවේ දී මේ දෙපිල මුණගැසුණු අවස්ථාව සිහිපත් කරවන්නකි. එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ තුන්වරක්ම අවසන් මහා තරගයට ක්‍රීඩාකර ඇති එංගලන්ත පිල එහෙම පිටින්ම අන්දමන්ද කරවීමට බංග්ලාදේශය සමත් වූයේ විශිෂ්ට ජයක් අත්කර ගනිමිනි.
එදා සිට දෙපිලම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ක්‍රමයෙන් ඉහළ නැගීමට සමත්වූ අතර ඒ අතරින් බංග්ලාදේශය අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පෙරළිකාර ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය. පසුගිය දෙවසර තුළ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වඩාත්ම දියුණුවට පත්වූයේ මේ කණ්ඩායම් දෙක යයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඔයින් මෝගන්ගේ නායකත්වය යටතේ එංගලන්තය තමන්ට හුරු සම්ප්‍රදායික ක්‍රමවේදවලට පයින් ගසා අලුත් ගමනක් ආරම්භ කරමින් සිටී. දෙවසරක කාලයක සිට පසුගියදා දකුණු අප්‍රිකාව පරාජය කිරීම දක්වා ඔවුන් පැමිණි ගමන් මග එලෙසය. සිය අවසන් එක්දින තරග 12 න් තරග 10 කදීම එංගලන්තය ලකුණු 300 සීමාව පසුකිරීමට සමත්වීම ඔවුන්ගේ පිතිහරඹ ලැයිස්තුවේ බලවත්කමට කදිම නිදසුනකි. ඉන් නොනැවතී එම තරග 10 ම ජයගැනීමත් ඔවුහු සමත්වූහ.
එසේවුවත් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එළිපත්තේ සිටිමින් පෙරේදා දෙපිලම සහභාගි වූතරගවලදී ඉනිම කඩා බිඳ වැටුණේ අනපේක්ෂිත ආකාරයකටය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී එංගලන්තයේ කඩුලු 6 ක් ලකුණු 20 කට බිඳ වැටුණු අතර ඉන්දියාව සමග පැවැති පුහුණු තරගයේදී බංග්ලාදේශයේ කඩුලු 6 ක් බිඳ වැටුණේ ලකුණු 22 ක් ඇතුළතදීය.
ඕනෑම පන්දු යැවීමේ අභියෝගයකට මුහුණදීමට සමත් ජෝ රූට්, මෝගන්, ජේසන් රෝයි, ජොස් බට්ලර් හා මුයින් අලී එංගලන්ත පිලේ සිටින අතර ප්‍රතිවාදීන්ට බරපතල හානියක් කළ හැකි වර්ගයේ පන්දු යවන්නන් බංග්ලාදේශ පිලේ සිටිති.
ඕවල් පිටියේ තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වුවමනා විදිහට හසුරුවාගත හැකි වර්ගයේ එකකි. වැඩි කළබලයකින් තොරව ක්‍රීඩා කරමින් වුවත් බොහෝ කණ්ඩායම් මේ තණතීරුවේදී ලකුණු 300 පසු කිරිමට සමත්වී තිබේ. එසේ වුවත් වේගපන්දු යවන්නනට උචිත එංගලන්තයේ දේශගුණය තත්ත්වයෙන් වාසි ලබාගැනීමට පන්දු යවන්නන් සමත් වන්නේ නම් මේ තරගයෙන් පිතිකරුවන්ට වඩා ඵල නෙලා ගත හැකිවන්නේ පන්දු යවන්නන්ටය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.