Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හසන්

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හසන්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේදැයි සැකයක් හටගෙන තිබීම නිසා එළබෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබෙන එක්දින තරගාවලියට සිය කණ්ඩායම සහභාගි කළ නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පවසයි.

“අපිට ශ්‍රී ලංකාවට යන්න බැරි එකම හේතුව මේ දිනවල එහි පවතින ආරක්ෂක තත්වයයි. ඒ ඇරුණාම ශ්‍රී ලංකාවට නොයන්න අපිට වෙන කිසිම හේතුවක් නෑ. බංග්ලාදේශය විතරක් නෙමෙයි වෙන කිසිම රටක කණ්ඩායමක් මේ වගේ වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරයි කියලා මම හිතන්නේ නෑ.” යැයි හසන් මහතා පෙරේදා (11 වැනිදා) සිය නිවසේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ජූලි මස 25, 27 සහ 29 යන දිනවලදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ජාත්‍යන්තර තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබුණි. දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ එම තරගාවලිය ජූලි මාසය දක්වා ඉදිරියට රැගෙන ඒමට බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් කටයුතු කළේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එරට ක්‍රීඩකයන්ට සූදානම් වීමට ඉඩකඩ ලබාදීමේ අරමුණෙනි.

කෙසේ වුවත් අප්‍රේල් මස 21 වැනිදා ශ්‍රී ලංකාවේදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී 250 කට අධික පිරිසක් මරණයට පත්වීමත් 400 කට අධික පිරිසක් තුවාල ලැබීමත් හේතුවෙන් එතැන් සිට මෙම තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබුණි.

“අපිට ඔවුන් සමග සැලසුමක් තිබුණා. ඔවුන් අපේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ට කණ්ඩායම්වලට ආරාධනා කළා. ඒ වගේම ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්නත් ඔවුන් උත්සහා කළා. ඒ නිසා ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් අපි කතා කළා. නමුත් මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය මොන වගේද කියන එක අපි වටහාගත යුතුයි. එවැනි තත්වයක් තුළ කිසිසේත්ම අපිට අපේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට යවන්න හැකියාවක් නෑ.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

“බංග්ලාදේශය පමණක් නෙමෙයි, අනිත් රටවල් පවා මෙවැනි තත්වයක් තියෙද්දී ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරයි කියලා මම හිතන්නේ නෑ. අනික ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල විය හැකි බව ශ්‍රී ලංකා රජය පවා කියලා තියෙනවා. ඔවුන් එසේ පවසද්දී අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට යැවීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.” යැයිද එහිදී හසන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.


-036

 


අදහස් (0)

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.