Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුහුණුකරු ෆෝඩ් අවිනිශ්චිත ගමනක

පුහුණුකරු ෆෝඩ් අවිනිශ්චිත ගමනක

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වන ග්‍රැහැම් ෆෝඞ් තමන්ගේ සියලු බඩු බාහිරාදියත් රැගෙන සියරට බලා ගොස් ඇතැයි වාර්තා වේ. කිසියම් දීර්ඝ තරගාවලියකට පසුව පුහුණුකරුවා නිවාඩුවක් සඳහා සියරට යන නමුත් මේ අවස්ථාවේදී නිවාඩු ලබා යාමට පෙර කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කර තිබූ බවක්ද පැවසේ.

නිවාඩු ලබා යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරීන් දෙදෙනකු සමග ග්‍රැහැම් ෆෝඞ් මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද දැනගන්නට ඇත. ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා පුහුණුවීම් අසංක ගුරුසිංහ මහතා යටතේ ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රිකට් කළමණාකරු අංසක ගුරුසිංහ මහතා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

ටෙස්ට් තරග 41 කට ක්‍රීඩා කර ඇති ගුරුසිංහ මහතා ටෙස්ට් ශතක 7 ක සහ අර්ධ ශතක අටක හිමිකරුවෙකි.

එක්දින තරග 147 කදී ඔහු ලබාගත් ශතක සංඛ්‍යාව 2 ක් වුවද ඔහුගේ කීර්තිය වැඩි වශයෙන් රඳා ඇත්තේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ඉතාමත් ස්ථාවර පිතිකරුවකු ලෙසිනි. 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඔහුගේ ලකුණු 63 ඉනිම අමරණීය එකකි. කඩුලු රකින්නකු වශයෙන් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමත් ආරම්භ කළ ගුරුසිංහ පසුකලෙක කඩුල්ල ආසන්නයේ පන්දු රකින්නකු වශයෙන්ද ශ්‍රී ලංකා පිලට අමිල මෙහෙවරක් කළේය.

මෑතකදී ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සනත් ජයසූරිය මහතාගේ සේවය ඉදිරියේදී නොලැබෙන තත්ත්වයක් යටතේ ඒ සඳහා හොඳම සුදුස්සා වශයෙන් අසංක ගුරුසිංහගේ නම යෝජනා වී තිබේ. ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අතර පසුගිය සිකුරාදා දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී ඇති නමුත් එහිදී සාකච්ඡා වූ දේ පිළිබඳ තවමත් දැනගන්නට නැත.

වසර 20 කට ආසන්න කාලයක් ඕස්ටේ්‍රලියාවේ පදිංචි වී සිටි අසංක ගුරුසිංහ මේ වන විට ඕස්ටේ්‍රලියානු පුරවැසිබව ලබා සිටින්නෙකි. මේ වසර මුලදී පැවැති බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා සිටියදීම තවත් කළමණාකරුවකු ලෙසින් අසංක ගුරුසිංහ මහතා පත්කරන ලදි. පසුව ශුරයන්ගේ කුසලාන තරගාවලියට ශ්‍රීලංකා පිල පිටත්ව යාමේදී ඔහු තේරීම් කමිටු සාමාජිකයකු ලෙසින්ද පත්කරන ලද හෙයින් තේරීම් කමිටු සාමාජිකයකුගේ සංචාරය වැළකී ගියේය.

කළමණාකරු සහ තේරීම් කමිටු සාමාජික තනතුරු දෙකම එකම අයකු දැරීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කළමණාකරු වූ දුලිප් මෙන්ඩිස් මහතා තේරීම් කමිටු සභාපතිවරයාද විය. එසේ වුවත් වත්මන් තත්ත්වය අනුව එය තරමක් අපහසු අභියෝගයකි. මක්නිසාද යත් තේරීම් කමිටු සභාපතිවරයාට කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම සම්බන්ධයෙන්ද වගකීමක් තිබෙන බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ වත්මන් තේරීම් කමිටු නිලධාරීන්ගේ නිල කාලය මේ මස 30 වැනිදා අවසන් වන බැවින් තමන් වෙනත් නම් කිහිපයක් කෙරේ අවධානය යොමුකර ඇති බවයි.

තේරීම් කමිටුව සඳහා යෝජනා කෙරෙමින් පවතින නම් අතර හෂාන් තිලකරත්නගේ නමත් කියැවෙන නමුත් ඔහුගේ පුතුන් දෙදෙනාම මේ වන විට 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු විය හැකි මට්ටමේ සිටින හෙයින් හෂාන් තිලකරත්නට කිසියම් බාධකයක් පැමිණ තිබේ. තේරීම් කමිටුව ඇතුළත්විය හැකි සාමාජිකයන් සම්බන්ධයෙන් බ්‍රෙන්ඩන් කුරුප්පු සහ මාවන් අතපත්තු යන අයගේ නම් පිළිබඳවද සාකච්ඡා කෙරී තිබේ.

කෙසේ වෙතත්  නව තේරීම් කමිටුටට එරික් උපශාන්ත සහ රොමේෂ් කළුවිතාරණ යන මහත්වරුන් ඇතුළත් විය හැකි බවත් රංජිත් මදුරුසිංහ මහතා කනිෂ්ඨ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්විය හැකි බවත් වාර්තා වේ.

 

- ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි.


අදහස් (0)

පුහුණුකරු ෆෝඩ් අවිනිශ්චිත ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.