Last Update  :  2024-05-15 14:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පරාජයට හේතුව උඩපන්දු අතහැරීමයි

පරාජයට හේතුව උඩපන්දු අතහැරීමයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උඩ පන්දු අතහැරීම සහ පළමු ඕවර 2 තුළ කඩුලු 2 ක් බිඳවැටීම, එංගලන්ත කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා පැවැති විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට බෙහෙවින්ම බලපැ බව නායක තිසර පෙරේරා පවසයි. තරගය නිමා වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. එහිදී තිසර මෙසේද සඳහන් කළේය.

“උඩ පන්දු අතහැරියොත් තරග පරදිනවා. ඒක කාටත් පොදුයි. අද තරගයේදිත් ඒක තමා තීර්ණාත්මකම සාධකය වුණේ. උඩ පන්දු අතහැරීම අපිට ලොකු අවාසියක් වුණා. මම හිතනවා අපි ඒ උඩ පන්දු දෙක තුන රැකගත්තා නම් එයාලව (එංගලන්ත කණ්ඩායම) ලකුණු 160 කට අඩුවන් රඳවා ගන්න අපිට ලොකු අවස්ථාවක් තිබුණා කියලා.”

කෙසේ වුවත් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී තිසර කියා සිටියේ කණ්ඩායමේ පන්දු රැකීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවකි. උඩ පන්දු අත්නොහරිමින්, හොඳ ජවයක් සහිතව පන්දු රැකීමේ නිරත වන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගැනීමට හැකි වනු ඇතැයිද එහිදී තිසර පැවසීය. ඒ සඳහා ප්‍රතිවාදීන්ගෙන් හිමිවන සියුම් අවස්ථාවක් පවා සිය වාසියට හරවාගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම එකම අර්ධ ශතක ලාභියාද වූ ආරම්භක පිතිකරු ජේසන් රෝයි (69), පන්දු 10 තුළ ලබාදුන් උඩ පන්දු 3 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිළිහී ගියේ ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාකර දෙමිනි.

අර්ධ ශතකය ලබාගැනීමට පෙර ලකුණු 34 ක් සහ 41 ක් බැගින් ලබා සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දු හමුවේ රෝයි ලබාදුන් උඩ පන්දු 2 ක් ඩීප් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම සහ ලෝන් ඕෆ්හි පන්දු රකිමින් සිටි දසුන් ශානක අතින් ගිළිහී ගියේය. අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමග කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ රෝයි ලබාදුන් තරමක් අසීරු උඩ පන්දුව ගිළිහී ගියේ ස්වීපර් කවර්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතිනි.

එම උඩ පන්දුවලට අමතරව එංගලන්ත ඉනිමේ තෙවැනි ඕවරය යැවූ ඉසුරු උදාන, එහි පළමු පන්දුවේදී ඔහු වෙතටම පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට අසමත් වූයේ රෝයි ලකුණු 20 ක් ලබා සිටියදීය. එම ඕවරයේදීම රෝයි දුවද්දී දවාගැනීමට තිබූ පහසු අවස්ථාවක් දසුන් ශානක අතින් ගිළිහී ගියේ ඔහු කඩුල්ල වෙත යොමුකළ පන්දුව රෝයිගේ සිරුරේ වැදී වෙනතකට යොමුවීම හේතුවෙනි. එහිදී රෝයි පන්දු රකින්නාට බාධා කළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉල්ලීමක් කළද, ඊට අදාල විඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.  

ලකුණු 188 ක ඉලක්කයක් හඹායෑඹ සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ඕවර 2.5 ක් අවසානයේ පිටියෙන් ඉවත් කිරීමට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෝ ඩෙන්ලි සමත් විය. පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කුසල් මෙන්ඩිස්ගේ (1) කඩුල්ල බිඳ දැමූ ඩෙන්ලි, තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී නිරෝෂන් දික්වැල්ලගේ (3) කඩුල්ලද බිඳ දමමින් ලකුණු 16 කට කඩුලු 2 ක් ලෙස ශ්‍රී ලංකා පිල මහත් අසීරු තත්වයකට ඇද දැමීය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිසර මෙසේ පැවසීය.

“පළමු ඕවර 3 තුළ අපේ කඩුලු 2 ක් බිඳවැටුණා. මම හිතනවා ඒක නිසා තමයි ගොඩක්ම අපේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වුණේ. ඒ කඩුලු 2 ත් තිබුණා නම් ලකුණු 188 ක් කියන්නේ මේ වගේ කාලගුණයක් එක්ක එච්චර අමාරු ඉලක්කයක් නෙමෙයි.”

“හැමෝම හිතන්නේ විස්සයි20 තරගයක් කියන්නේ බොහොම කෙටි තරගයක් කියලා. ඒ වුණාට පන්දු 120 ක් තුළ සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. ඒ වෙලාවේ මම දසුන්ට කිව්වේ අපි දෙන්නා පුළුවන් තරම් වෙලාවක් පන්දුවට පහරදෙමු කියලා. අන්තිම වෙනකම්ම අපි දෙන්නා කඩුල්ලේ රැදී සිටියා නම් තරගය වෙනස්ම තැනකට ගෙනියන්න අපිට අවස්ථාවක් තිබුණා කියලා මම හිතනවා.” යැයිද තිසර වැඩිදුරටත් කියා සිටියේය.
 


අදහස් (0)

පරාජයට හේතුව උඩපන්දු අතහැරීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.