Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක්

පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක්

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේදී පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් තමන් බලාපොරොත්තු වන බව ඇන්ජලෝ මැතිව්ස් කියයි. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ක්‍රයිස්ස්චර්ච් නුවර හැග්ලි උද්‍යානයේදී හෙට (26 වැනිදා) ආරම්භ වේ.

වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය වෙනුවෙන් ටොම් ලෙතම් ද්විත්ව ශතකයක් ලබාගත් අතර නවසීලන්ත පිලේ මුල් ඉනිම අවසානයේදී ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ 578 ක් ලෙසිනි. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 296 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 274 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 120) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 141) ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගත්හ.

පළමු තරගය එයාකාරයෙන් අවසන් වීම හේතුවෙන් සත්කාරකයන් බලාපොරොත්තු වූ වාසිය අත් කරගැනීමට නොහැකි වූවා පමණක් නොව, තරගාවලිය වාඩාත් විවෘත තත්ත්වයකට පත්විය. ඉතිරිව ඇත්තේ එකම තරගයක් පමණක් බැවින් ක්‍රයිස්ට්චර්ච් තරගයේ තීරණය තරගාවලියේ තීරණයද වෙයි.

“අපට පළමු වැනි තරගයේදී හොඳ පළමු ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ඒක නිසා තමයි අපි පසුපාදයට වැටුණේ....ඒත්පළමුවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තායින් පස්සේ අපේ ක්‍රීඩකයන් ගොඩාක් ධෛර්යමත් වුණා. දෙවැනි තරගය ආරම්භ වන තුරු ඔවුන් දැන් බලාගෙන ඉන්නේ” යයි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේය.

“කොහොමටත් අපි මේ තරගයේදී වැඩිපුර තණකොළ තියෙන, ඒ වගේම වැඩි ඉපිළීමක් තියෙන තණතීරුවක් බලාපොරොත්තු වෙනවා.....ඒ නිසා අපට හොඳින් පන්දුවට පහර දෙන්න වෙනවා. ඉස්සරවෙලාම පන්දු යවන්න ලැබුණොත්, පන්දු යවන්නන්ටත් හොඳ වාසි තියේවි”

“අපට මේ තරගය දිනන්න පුළුවන්. අපි පිට්ටනියට බහින්නේ තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නෙමේ. අපි අපේ හැකියාව අනුව ක්‍රීඩා කළොත්, ඔවුන් (නවසීලන්තය) පරාජය කරන්න අපට පුළුවන් බව මට විශ්වාසයි” යයිද මැතිව්ස් පැවසීය.

තරගාවලිය ආරම්භ වීමට පෙර නවසීලන්තයට නිශ්චිත අරමුණක් තිබිණ. එනම් ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකම ජයගනිමින් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 2 ස්ථානයට ළඟා වීමයි. එහෙත් නවසීලන්තයේ අරමුණ දියකර හැරීමට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ. නවසීලන්තයට දැන් ඉතිරි වී ඇති ඉලක්කය වන්නේ පිට පිටම සිව්වැනි තරගාවලිය ජයගැනීමයි.

එක දිගට ටෙස්ට් තරගාවලි 3 ක් බැගින් දිනාගත් අවස්ථා 3 ක් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ ඇතත් වසර 88 ක් ඈතට දිවෙන නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේදී ඔවුන් තරගාවලි 4 ක් එක දිගට ජයගෙන නැත. කේන් විලියම්සන්ගේ කණ්ඩායම සොයන්නේ ඉතිහාසය අලුතෙන් ලිවිය හැකි අවස්ථාවකි.

“අපගේ රටේදීම තරග වදින අවස්ථාවලදී අපේ තරග වාර්තාව අපට ඉතාම හිතකරයි. අපි දැන් විශ්වාසය තියන්නේ ඒ ගැනයි” යයි නවසීලන්ත පිලේ පිතිහරඹ පුහුණුකරු ක්‍රෙග් මැක්මිලන් මහතා කියයි.

“දැන් තියෙන විදිහට ඉතිරි වෙලා තියෙන්නේ එක තරගයක් විතරයි. තරගාවලියේ තීරණයත් මේක මත රඳා පවතින නිසා දැන් ඇති අභියෝගය ටිකක් අසීරුයි” යයිද මැක්මිලන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලට ඇත්තේ එංගලන්තය හමුවේ ලද දරුණු පරාජයේ අවමානය මකා ගැනීම පමණක් නොවේ. වෙලින්ටන් හිදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව අහම්බයක් නොවන බවතහවුරු කිරීමත් ශ්‍රී ලංකා පිලේ තවත් ඉලක්කයකි.

“වෙලින්ටන් තරගයෙන් අප විශාල ආත්මශක්තියක් අත්කර ගත්තා” යයි කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.

“මේ තණතීරුවෙන් අපේ පන්දු යවන්නන්ට කිසියම් දෝලනයක් ලබාගත හැකිවුවහොත් ඔවුන් අවශ්‍ය දේ කරාවි. ඒ වගේ වෙලාවල පන්දුව කොතැනටද දාන්න ඕන කියන එක ඒ අය දන්නවා” යයිද දික්වැල්ල පැවසීය.

හැග්ලි ඕවල් උද්‍යානයේ තණතීරුව වේග පන්දු යවන්නන්ට පරාදීසයකි. මේ බව දන්නා දෙපිලම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වති. වසර හතරකට ඉහතදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ ක්‍රීඩාංගණයේදීම පැවැති ‘බොක්සිං දිනයේ’ ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් එම තරගයේදී නවසීලන්ත පිලට කඩුලු 8 ක ජයක් හිමිවිය.

වෙලින්ටන් තරගය බේරා ගැනීම සම්බන්ධයෙන් කයිවාරු ගහන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිහරඹය බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයක තිබේ. වෙලින්ටන්හිදී පළමු ඉනිමේ ලකුණු 9 කට කඩුලු 3 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදීත් ලකුණු 13 කට කඩුලු 3 ක් අහිමි කරගත්තේය. තරගය ශ්‍රී ලංකා පිලට නැඹුරුවූයේ මැතිව්ස් සහ මෙන්ඩිස් දෙදෙනාට තණතීරුවෙන් ලද සහයෝගයත් සමගිනි.

අනෙක් අතට නවසීලන්ත පිතිකරු හමුදාව මැඬගෙන ඉදිරියට යාම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇති අභියෝගයකි. කේන් විලියම්ස්, හෙන්රි නිකොල්ස්, ටොම් ලෙතම් සහ රොස් ටේලර් පහසුවෙන් කඩුල්ල අතහැර දමන්නන් නොවේ.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්

නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් ලෙතම්, ජීත් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකොල්ස්, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්, බී.ජේ. වොට්ලිං, විල් යං, ටිස් සවුති, මැතිව් හෙන්රි, අජාස් පතෙල්, ටේ‍රන්ට් බෝල්ට් සහ නීල් වැග්නර්


අදහස් (0)

පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.