Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක

පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක

Nisanka Sandeepani - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකා පිලට අභියෝග කළහ.

මුල් ඉනිමේදී ලකුණු 352 ක භයංකාර අවාසියකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිමේදීත් කඩුල්ලක් අහිමි කරගනිමින් ලකුණු 19 ක් පමණක් ලබා සිටියේය.

අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට දින තුනක්ම ඉතිරිවී තිබෙන නමුත් අත ඇති කඩුලු 9 රැකගෙන ඒ දින තුන ගෙවාගත හැකිද යන්න ඔවුන් හමුවේ දැනට තිබෙන අභියෝගයයි. එසේ කළ නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව 3-0 කින් තරගාවලිය පරාජය වනු ඇත. එබැවින් දැන් ඔවුන් හමුවේ ඇත්තේ මියෙම්වා රැකෙම්වා සටනකි.

මෙම ලකුණු 19 ලබාගැනීමට ඕවර 13 කට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ඉන්දීය පිලට වඩා ලකුණු 333 ක් පසුපසින් සිටී. මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලිය පරාජය වී සිටින සත්කාරකන් මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 333 ක් ලබාගත යුතුය. එහෙත් ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලු 9 ක් පමණි.

ඉතාමත් සැහැල්ලුවෙන් තරග වදින ඉන්දියානුවන්ට ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු 9 දවාගැනීම සඳහා දින 3 ක්ම ඉතිරිවී තිබේ. යම් හෙයකින්  ශ්‍රී ලංකා පිතිකරුවන් සිය දෙවැනි ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගියහොත් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාවත් ඉන්දීය පිල සතුව ඇත.

හර්දික් පාණඩ්‍යාගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා ලකුණු 487 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායමේ ඉනිම අද දිවා ආහාරයෙන් පන්දු 3 කට පසුව නිමා විය. ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන්ද ශතකයක් ලබාගත් අතර ඉන්දීය ඉනිම විනාඩි 534 ක් පුරා යැවුණු ඕවර 122 ක් පුරා දිගහැරිණ.

ශ්‍රී ලංකා පිලට මුල් ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණකි. විනාඩි 177 ක කාලයක් තුළ ඕවර 37.4 කදී ශ්‍රී ලංකා පිල සම්පූර්ණයෙන්ම දැවී ගියේය.  ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යන්තම් හෝ සටනක් දීමට ඉදිරිපත් වූ දිනේෂ් චන්දිමාල්ටත් ලබාගත හැකිවූයේ ලකුණු 48 ක් පමණි. දුර්වල පහර තේරීම, ඉවසීමකින් තොරවීම මෙන්ම හොඳින් ලකුණු ලබාගනිමින් සිටින අවස්ථාවල ක්‍රීඩකයන්ගේ පමණට වැඩි නිර්භීතකම්ද ශ්‍රී ලංකා ඉනිම එකතැන කඩා වැටීමේ පැහැදිළි ලක්‍ෂණ විය.

ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරයා වූ වමතින් චයිනමන් පන්දු යවන කුල්දිප් යාදව් ඕවර 13 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ තීරණාත්මක පන්දුව වූයේ කුල්දිප් විසින් නිරෝෂන් දික්වැල්ලට යවන ලද පන්දුවයි.

ලකුණු 38 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදීත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල එක්කළ ලකුණු 63 ක සම්බන්ධතාව බිඳී ගියේ නිරෝෂන් දික්වැල්ල තම සීමා ඉරෙන් ඉවතට පැමිණෙමින් ගැසීමට උත්සාහ කළ පහරකිනි. එතැන් සිට ලකුණු 34 ක් ඇතුළත අවසන් පිතිකරුවෝ පස් දෙනාම පිටියෙන් ඉවත් වූහ.

ඉන්දීය ඉනිමේ අවසන් පිතිකරුවා වූ උමේෂ් යාදව් සමගින් එක්ව ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හර්දික් පාණ්ඩ්‍යා තනි අතින් ඉන්දීය පිල ලකුණු 500 කරා ඇදගෙන යාවට උත්සාහ කරමින් සිටියද දිවා ආහාරයෙන් පසුව යැවූ තුන්වැනි පන්දුවේදී දැවී ගියේ ලක්ෂාන් සඳකැන්ට සිය පස්වැනි කඩුල්ල තිළිණ කරමිනි.

ගාල්ලේදී ටෙස්ට් වරම් ලබාගත් පාණ්ඩ්‍යා මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ එය හතරේ පහර 8 නින් සහ හයේ පහර 7 කින් අලංකාර කරමිනි.  ඔහුගේ ලකුණු 108 න් ලකුණු 74 ක්ම හයේ සහ හතරේ පහර වලින් ලැබුණු ඒවා විය. අවසන් කඩුල්ල වෙනුවෙන් පාණ්ඩ්‍යා ලකුණු 58 ක් එක් කරන විට යාදව් ලබා සිටියේ ලකුණු 3 ක් පමණි.

ලකුණු 421 දී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණද අනෙක් අන්තයේ සිටි උමේෂ් යාදව් මුවාකරගත් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා සහ කඩුලු රකින්නා හැර සෙසු ක්‍රීඩකයන් 9 දෙනාම හතරේ සීමාව ආසන්නයේ රැඳී සිටියදීත් මාලින්ද පුෂ්පකුමාරගේ ඕවරයකින් ලකුණු 26 ක් උදුරාගත්තේය. එම ඕවරයේදී පාණ්ඩ්‍යාගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 4,4,6,6,6 සහ 0 ක් වශයෙනි.

පාණ්ඩා්‍යාගේ ප්‍රහාරයෙන් අන්ද මන්ද වූ නායක චන්දිමාල් ඊළඟ ඕවරය යැවීම ළහිරු කුමාරට බාර කළ නමුත් පන්දු රකින්නෝ 9 දෙනාම හතරේ සීමාව ආසන්නයේම රැඳවීය. එහෙත් ප්‍රතිඵලයේ වෙනසක් නොවිණ.

ළහිරු කුමාරගේ පන්දුවක් ස්ක්වෙයාර් ලෙග්’ කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යැවූ පාණ්ඩ්‍යාගේ පිත්ත කෑලි දෙකකට කැඩී ගියද වෙනත් පිත්තක් ගෙන්වාගත් හෙතෙම තමන්ගේ අනුකම්පා විරහිත පිතිහරඹය දිගටම කරගෙන ගියේය.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.