Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තයට 2-1 ක තරගාවලි ජයක්

නවසීලන්තයට 2-1 ක තරගාවලි ජයක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටිම් සෝතී, අජාස් පටෙල් සහ විලියම් සමර්විල්ගේ පන්දු යැවීම හමුවේ පාකිස්තානයට එරෙහිව අබුඩාබීහිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ලකුණු 123 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.


ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි.


පළමු කඩුලු 5 ලකුණු 55 ක් තුළ දවාගනිමින් පාකිස්තානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ නවසිලන්ත පන්දු යවන්නෝ අවසන් කඩුලු 5 තවත් ලකුණු 101 ක් තුළ දවාගනිමින් ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්වූහ.


බාබර් අසාම් (51) හුදකලා සටනක නිරතවෙමින් අර්ධ ශතකයක් ලබාගත්තද පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට හෝ රැගෙන යාමට ඔහුට අවස්ථාවක් හිමිනොවීය. සර්ෆ්‍රාස් අහ්මඞ් ලකුණු 28 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 22 ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට නොහැකිවූහ.


තරගයේ අවසන් දිනයවූ අද දක්ෂ පන්දු යැවීමක නිරතවූ ටිම් සෝතී, අජාස් පටෙල් සහ විලියම් සමර්විල් කඩුලු 3 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


සිවුවැනි දිනට ඊයේ (6 වැනිදා) තරගය නිමාකරන විට කඩුලු 4 කට ලකුණු 272 ක් රැස්කරමින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම අද පෙරවරුවේදී ඕවර 9 ක් පමණක් පන්දුවට පහරදී ඉනිම අත්හිටුවීය. එම ඕවර 9 තුළදී කඩුලු 3 ක් අහිමිකර ගත්තද වේගවත් ලකුණු 81 ක් රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ සමත්වූහ.


ශතකයක් ලබාගනිමින් පිටියේ රැඳී සිටි කේන් විලියම්සන් අද උදෑසන යවන ලද පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට හසන් අලී සමත්විය. පන්දු 283 කට මුහුණදුන් විලියම්සන් හතරේ පහර 13 ක් සමගින් ලකුණු 139 ක් රැස්කිරීමට සමත්විය.


ඊයේ දිනය නිමාවනවිට ලකුණු 90 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි හෙන්රි නිකලස් සිය තෙවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරගැනීමට අද සමත්විය. ඉනිම අත්හිටුවන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නිකලස් පන්දු 266 කට මුහුණදෙමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය.


යසීර් ෂා කඩුලු 4 ක් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 2 ක් දවාගනිමින් පාකිස්තානූ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කේන් විලියම්සන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය යසීර් ෂා විසින් හිමිකර ගත්තේය.

 

නවසීලන්ත පළමු ඉනිම - ඕවර 116.1 කදී සියලු දෙනා දැවී 274
(ජීත් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වොට්ලින් නොදැවී 77, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් 20, බිලාල් අසීෆ් 65/5, යසීර් ෂා 75/3)

පාකිස්තාන පළමු ඉනිම - ඕවර 135 කදී සියලු දෙනා දැවී 348  
(අසාර් අලී 134, හාරිස් සොහෝල් 34, අසාද් ෂෆීක් 104, සර්ෆරාස් අහමඩ් 25, විලියම් සමර්විල් 75/4, ටේ‍රන්ට් බෝල්ට් 66/2, අජාස් පටේල් 100/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - ඕවර 113 කදි කඩුලු 7 ක් දැවී 353
(කේන් විලියම්සන් 139, රොස් ටේලර් 22, හෙන්රි නිකලස් නොදැවී 126, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් 26,  යසීර් ෂා 129/4, ශහීන් අෆ්රිඩි 85/2)

පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලු දෙනා දැවී 156  
(ඉමාම් උල් හක් 22, බාබර් අසාම් 51, සර්ෆ්‍රාස් අහ්මඞ් 28, ටිම් සෝතී 42/3, අජාස් පටෙල් 42/3, විලියම් සමර්විල් 52/3)


අදහස් (0)

නවසීලන්තයට 2-1 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.