Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

නවසීලන්තය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

Nisanka Sandeepani - 2019 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 115 ක පහසු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.4 ක් තුළ ලකුණු 249 කට සීමා කිරීමට ලොකී ෆර්ගියුසන් සහ ඉෂ් සෝධි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ෆර්ගියුසන් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, සෝධි ලකුණු 40 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් උප නායක නිරෝෂන් දික්වැල්ල (46) සහ ධනංජය ද සිල්වා (36) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ධනංජය ලකුණු 36 කට දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. ඒ වන විට පන්දු 29 කට මුහුණ දී සිටි ධනංජයගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. 

ධනංජයගේ දැවී යෑමෙන් අනතුරුව කුසල් පෙර්රා (43) සමග එක්වු දික්වැල්ල, ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ උත්සාහයක නිතර වූ නමුත් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ජේම්ස් නීෂම්ගේ පන්දුවක් හමුවේ ලොකි ෆර්ගියුසන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී යෑම නිසා ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 41 කට සීමා විය. පන්දු 37 කට මුහුණදුන් දික්වැල්ල හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.

දික්වැල්ල දැවීගිය පන්දුවට පසුව යවන ලද පන්දුවේදීම කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව ගියේ එක් පන්දුවකට හෝ මුහුණදීමට පෙරතුවය. එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 10 ක් එක්වන විට දසුන් ශානකද ලකුණු 2 කට දැවී ගියේ ලකුණු 117 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දමමිනි. 

සාර්ථක අයුරින් පන්දුවට පහරදෙමින් සිටි කුසල් පෙරේරා පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් ලබා සිටියදී ලොකි ෆර්ගියුසන්ගේ පන්දුවක් හමුවේ ටිම් සෙයිෆර්ට් අතට උඩ පන්දුවක් දෙමින් පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව යෑමද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

දෙවැනි තරගයේදී මෙන්ම මෙම තරගයේදීද වේගවත් පිතිහරඹයක නිතර වූ තිසර පෙරේරා, පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහිදී 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක (31) සමග එක්ව පන්දු 93 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තිසර සමත් විය. 

කෙසේ වුවත් ලොකි ෆර්ගියුසන්ගේ පන්දුවක් හමුවේ මාටින් ගප්ටිල් අතට උඩපන්දුවක් දෙමින් තිසර දැවීයාමත් සමග එම බලාපොරොත්තු සුන් වී ගියේය. ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ලද ඇතුළුව සෙසු කඩුලු 4 ම ලකුණු එක් ලකුණක් හෝ ලබා නොදීම දවාගත් නවසීලන්ත පන්දු යවන්නෝ සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් රැස්කළ අතර එහිදී රොස් ටේලර් (137) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 124) ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 131 කදී වාර්තා වූ ටේලර්ගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 80 කදී වාර්තා වූ නිකොල්ස්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය. 

මුලු ලකුණු සංඛ්‍යාව 31 ක් වන විට නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මාටින් ගප්ටිල් (2) සහ කොලින් මුන්රෝ (21) පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වුවද, එතැන් පටන් නායක කේන් විලියම්සන් (55) සමග එක්වූ රොස් ටේලර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. පන්දු 65 කදී ලබාගත් විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. 

ඉන් නොනැවතුණ ටේලර්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් හෙන්රි නිකොල්ස් සමග එක්ව පන්දු 120 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ නැංවීය. ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ටේලර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 

ඉන් අනතුරුව ජේම්ස් නීෂම් (නොදැවී 12) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිකොල්ස් නවසීල්න්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. 

-036


අදහස් (0)

නවසීලන්තය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.