Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත්-මැතිව්ස්-දික්වැල්ල කණ්ඩායම ගොඩගනිති

දිමුත්-මැතිව්ස්-දික්වැල්ල කණ්ඩායම ගොඩගනිති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 10 ක් පුවරුවට එක්වීමටත් මත්තෙන් කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී  ලංකා පිල සෑහෙන දුරකට ගොඩගත්හ. එහෙත් නවසීලන්ත වේග පන්දු යවන්නන්ගේ බවුන්සර් වරුසාවට මුහුණ දීමේදී දිමුත් කරුණාරත්න දැවී යාම නිසා තරගයේ වාසිය අත්කරගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේය.

මැතිව්ස් මෙන්ම කරුණාරත්නත් සිය ශතකවලට යා හැකි මානයේ සිටියදී දැවී ගිය නමුත් එතැන් සිට කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ අභියෝගය අතට ගත් නිරෝෂන් දික්වැල්ල (නොදැවී 73) පසුපෙළ පිතිකරුවන් සමග එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 275 දක්වා ඉහළ දැම්මේය.  

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි ‘බේසින් රිසව්’ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ පළමුවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවේදී ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින පිතිකරුවන් දෙදෙනා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්නයි. එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදීත් මෙම පිතිකරුවෝ දෙදෙනා පිළිවෙලින් ලකුණු 223 ක් සහ 256 ක් ලබාගත්හ.

ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාම ටිම් සවුතිගේ පන්දු හමුවේ දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 09 ක් පමණි. සවුති ප්‍රමුඛ වේග පන්දු යවන්නන්ගේ බවුන්සර් වරුසාවට සාර්ථකව මුහුණ දුන් මැතිව්ස් සහ කරුණාරත්න දෙදෙනා ටිකෙන් ටික ලකුණු එකතු කරන්නට වූ අතර සවුති සිය පළමු වැනි පන්දු යැවීමේ වාරය නිමා කළේ 6-2-16-3 ලෙසිනි.  

දිවා ආහාරයෙන් පසුව, නිසි ඉලක්කයකට පන්දු යැවීමට අපොහොසත් වූ ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දු යැවීම බොහෝ අවස්ථාවලදී එක්කෝ පිතිකරුවාගේ ඉදිරිපාදය පතිත වන ස්ථානයට වඩා ආසන්න විය. නැතහොත් අවශ්‍ය පමණට වඩා දුරස් විය. මෙම හේතුව නිසා බෝල්ට් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ පහසුවෙන් ලකුණු ලබාගත්හ.

නවසීලන්ත සංචාරය ආරම්භයේදීම ශතකයක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ පලපුරුද්ද මනාව ප්‍රයෝජනයට ගනිමින් තමන් අබිමුව පැවැති අභියෝගය පාලනය කරගත්තේය. සිය දෙවැනි නවසීලන්ත සංචාරයට එක්ව සිටින දිමුත් කරුණාරත්න ඔහුගේ 2015 සංචාරයට වඩා පරිණත පිතිකරුවකුගේ ලක්‍ෂණ විදහා පෙන්වමින් සිටියේය.

නවසීලන්තයට කඩුලු නොමැති බොහෝ අවස්ථාවලදී තරගය වෙනස් කිරීමට පෙරමුණ ගන්නා ක්‍රීඩකයකු වන නීල් වැග්නර් පිතිකරුවන් දෙදෙනාගේ ඉලඅට පෙදෙස ඉලක්ක කරමින් පන්දු යැවීම ආරම්භ කළේය. කඩුල්ලට පිටතින් මෙන්ම කඩුල්ල වටාත් පැමිණි වැග්නර්ගේ පන්දුවල ඉහළට ඉපිළීම මෙන්ම වේගයද ඕනෑතරම් රැඳී තිබිණ. ඒවායින් දෙකක් හතරේ සීමාවට යැවීමට කරුණාරත්න  සමත් වූ නමුත් තුන්වැනි අවස්ථාවේදී වැග්නර් ජයග්‍රාහකයා වූයේය. පුල් පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී කරුණාරත්නගේ අත් ආවරණයේ වැදුණු වැග්නර්ගේ පන්දුව කඩුලු රකින්නා වූ බී.ජේ. වොට්ලිංගේ අත් ආවරණ අතර සැඟව ගියේ ආරම්ක පිතිකරුවාගේ ඉනිම ලකුණු 79 දී නිමා කරමිනි.

එතැන් සිට පැය භාගයක පමණ කාලයන් පන්දුව පිත්තේ වැදී එහා මෙහා යාමත් බොහෝ අවස්ථාවල පිත්තේ නොවැදීම කඩුලු රකින්නා අත පත්වීමන් දක්නට ලැබිණ. එහෙත් පන්දු පිත්තේ නොවැදුණු වාර ගණන වැඩි වීම නිසා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමට මැතිව්ස් මෙන්ම චන්දිමාල්ද සමත් වූහ.

 


අදහස් (0)

දිමුත්-මැතිව්ස්-දික්වැල්ල කණ්ඩායම ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.