Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තහනම තිබියදීත් චරිත්ගෙන් ද්විත්ව ශතකයක්

තහනම තිබියදීත් චරිත්ගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

විනය හේතූන් මත, ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් තරග දෙකක තහනමක් පනවා තිබියදීත් ගාල්ල රිච්මන්ඞ් විදුහල් වයස 19 න් පහළ පිලේ නායක චරිත් අසලංක, ඊයේ (05) පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව පැවැති ‘සිංගර්’ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරගයකට ක‍්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් ලබාගත්තේය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
 
මීට පෙර පැවැති අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයකදී විනය විරෝධීව හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ රිච්මන්ඞ් විදුහලේ චරිත් අසංලකට තරග දෙකකද, වනිඳු හසරංග තරග තුනකද, තහනමකට යටත් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක කමිටුව මේ මස 01 වැනිදා තීරණය කළේය. කෙසේ වෙතත් ඔවුනට මෙම තහනම කි‍්‍රයාත්මක වන්නේ පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන තරග වලට පමණකි.

තහනමට ලක්ව සිටින විනිඳු හසරංග මෙම තරගයට ක‍්‍රීඩා කර නොමැති බව ද වාර්තා වේ.  

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයාද වන චරිත් මෙම තරගයේදී ලකුණු 200 ක් රැස්කිරීම කැපී පෙනේ.

එහිදී රිච්මන්ඞ් විදුහල ලකුණු 300 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ්‍රී සුමංගල විදුහලට රැස්කළ හැකි වූයේ ලකුණු 199 ක් පමණි.

මෙම තරගයේදීත් චරිත් රිච්මන්ඞ් පිලේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර තරගය ආරම්භ වීමත් සමගම ශ්‍රී සුමංගල විදුහලෙන් ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ. එහිදී රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම් නිලධාරීන් පවසා ඇත්තේ එම ක‍්‍රීඩකයන්ට තහනමක් පනවා ඇති බවට පාසල් ක‍්‍රිකට් සංගමය ලිඛිත දැනුම්දීමක් කර නොමැති බවයි.

 මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීයකු පැවසුවේද තහනම පිළිබඳව මේ දක්වා තහනම් කළ ක‍්‍රීඩකයන් තිදෙනාගේ පාසල්වලට ලිඛිතව දැනුම්දී නොමැති බවයි.

චරිත් තරගයට සහභාගි වන විට තහනම පනවා සම්පූර්ණ දින තුනක් ගතවී තිබුණද ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දීමට පාසල් ක‍්‍රිකට් සංගමය ක‍්‍රියාකර නොතිබුණු අතර ඊයේ (6 වැනිදා) පස්වරුව වනතුරුත් ඒ සඳහා ලිපියක් සකස්කර නොතිබුණු බව ද දැනගන්නට තිබේ.

මොරටුව වේල්ස් කුමර විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර ඊයේ මාතරදී පැවැතිවීමට නියමිතව තිබූ තරගයට සහභාගි වීමට වේල්ස් කුමර විදුහල මාතරට ගියද එම තරගය සඳහා විනිසුරුවන් නොපැමිණීම හේතුවෙන් තරගය කල්දැමීමට සිදුව තිබේ.

මෙම සිද්ධීන් පිළිබඳව දැන ගැනීමට පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා සහ වයස 19 න් පහළ තරගාවලි ලේකම් ජේ. කේ. එස්. ඉන්ද්‍රජිත් යන මහත්වරු දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය.

තරගාවලි ලේකම්වරයා හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත නොහැකි බව ද බොහෝ පාසල් නිලධාරීහූ චෝදනා කරති.

 


අදහස් (2)

තහනම තිබියදීත් චරිත්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.