Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරුණයන්ගේ කරේ බර පටවයි

තරුණයන්ගේ කරේ බර පටවයි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගයක් සඳහා සාමාන්‍යයෙන් සකස් කරනු ලබන තණතීරුවකට වඩා පල්ලෙකැළේ තණතීරුව හරිත පැහැය ගෙන තිබිණ.

අද (11 වැනිදා) සවස වන තුරුත් තණතීරුවේ සජීවී තණකොළ දක්නට තිබුණ අතර මෙම වාර්තාව පාඨකයා අතට පත්වන හෙට වන විට එහි තත්ත්වය එසේම නැතහොත් ඊට ඉතා ආසන්න තත්ත්වයක තිබිය හැකි යයි අනුමාන කළ හැක්කේ ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් සිවු දෙනකු ඇතුළත් කර ඇති බැවිනි.

තණතීරුවේ තත්ත්වය කුමක් වුවත් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (12 වැනිදා) ආරම්භ වන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරුණයන්ගේ කරේ බර පටවා තිබේ. කණ්ඩායමේ සිටින පළපුරුදුම වේග පන්දු යවන්නන් දෙදෙනා වන සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනාත්, මේ වන විට ලෝකයේ සිටින ජ්‍යෙෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයා වන රංගන හේරත් ශාරීරික ආබාධ හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත් නොවීම ඊට හේතුවයි. එවන් තත්ත්වයක් යටතේ තම තරුණ වේග පන්දු යවන්නන් කෙරේ බලාපොරොත්තු රැඳවීමට නායක චන්දිමාල්ට සිදුවී තිබේ.

“ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙන්නාම මේ දවස්වල හොඳින් පන්දු යවමින් සිටිනවා. ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් නැති මේ වෙලාව තමන්ගේ තරම පෙන්නන්න ඒ දෙන්නාටත් හොඳ අවස්ථාවක්.....”

“තරුණ ක්‍රීඩකයන්ගෙන් කවුරු හරි කෙනෙක්ගේ නැත්නම් දෙන්නෙක්ගේ දස්කම් වලින් අපට මේ තරගය ජයගන්න හැකි වුණොත් ඒක අපේ ඉදිරි ගමනට විශාල මානසික ශක්තියක් වෙයි. අප සොයමින් ඉන්නේ ඒ ජයග්‍රහණය තමයි” යයි මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායකයා පැවසීය.

අද පෙරවරුවේදී පැවැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් කළ නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා නායකයා ඒ ගැන තැවුණේ නැත. අවශ්‍ය නම් ගෘහස්ථ පුහුණුවීම් කළ හැකි නමුත් ඇතැම් පිතිකරුවෝ ගෘහස්ථ පුහුණුවීම් වලට අකමැත්තක් දක්වති.

රංගන හේරත් කණ්ඩායමේ නොමැතිවීම චන්දිමාල්ට අඩුවක් වන්නේ හේරත් විසින් දවාගනු ලබන කඩුලු අහිමි වීම නිසා පමණක් නොවේ. පිටිය මැදදී කිසියම් උපක්‍රමයක් සාකච්ඡා කිරීමට අවශ්‍ය වුවහොත් රංගන හේරත් යනු ලොව ඕනෑම නායකයකුගේ පළමු තේරීම වෙයි. 1999 දී ටෙස්ට් පිටියට පා තැබූ වමත් දඟ පන්දු යවන්නා මේ වන විට ලොව සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ ටෙස්ට් ක්‍රීඩකයාය.

“හේරත් නැතිවීම විශාල පාඩුවක් වුණත් ක්‍රීඩකයන් කළමණාකරණය කිරීමේ ක්‍රමවේදය අනුව මේ තරගයේදී ඔහුට විවේකයක් දෙන්න තීරණය කරලා තියෙනවා” යයි චන්දිමාල් කීවේය. හේරත් නැති අතරවාරයේදී ශ්‍රී ලංකා නායකයා තරුණ කණ්ඩායමක් කෙරෙහි සිය බලාපොරොත්තු රඳවා තිබේ.

තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඔහුගේ සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතර වයසින් වැඩිම තැනැත්තා වන්නේ 35 හැවිරිදි ඩිල්රුවන් පෙරේරාය. ඩිල්රුවන්ට අමතරව වයස 30 ඉක්මවූවන් සිටින්නේ උපුල් තරංග (32), මාලින්ද පුෂ්පකුමාර (30) සහ ඇන්ජලෝ මැතිව්ස් (30) පමණි. සංචිතයේ වයස සාමාන්‍යය 27.13 කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා පිළිබඳව අද සවස් වන තුරුත් තීරණයක් ගෙන නොතිබුණද නායකයාගේ අපේක්‍ෂාව අනුව ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාට මෙම තරගයේදී අවස්ථාවක් ලැබීමේ විශාල ඉඩක් තිබේ.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියේ රැඳී නොසිටි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියකදී ඉන්දියාව පරාජය කළේ නම් ඒ වේග පන්දුවේ සහයෝගය ඇතිවය. 1986 දී ශ්‍රී ලංකාවේ පළමුවැනි ටෙස්ට් තරග ජය මෙන්ම තරගාවලි ජය ලැබෙන්නේද අසන්ත ද මැල්, රුමේෂ් රත්නායක සහ සාලිය අහංගම තිදෙනාගේ දායකත්වයෙනි.

රංගන කණ්ඩායමේ නැති හෙයින් ඩිල්රුවන් පෙරේරාගේ ස්ථානය ස්ථාවර වන අතර ඔහුගේ සහාය පන්දු යවන්නා වශයෙන් මාලින්ද පුෂ්පකුමාර මෙන්ම ලක්ෂාන් සඳකැන්ද කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුව සිටී. එහෙත් ඉන්දු  - ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයත් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැති තත්ත්වයත් පිළිබඳ සලකා බලන කල්හි මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු උපයෝගී කරගතහොත් එයද අරුමයක් නොවේ. වරින් වර ශාරීරික ආබාධ වලට ලක්වන නමුත් මෙතෙක් සහභාගි වූ ටෙස්ට් තරග 6 කදී කඩුලු 22 ක් ලබා සිටින 25 හැවිරිදි දුෂ්මන්ත චමීර තේරීම් කමිටු නිලධාරීන්ගේ ප්‍රසාදය දිනාගත් ක්‍රීඩකයෙකි.

පිතිකරු ලයිස්තුව කිසියම් ස්ථාවර බවක් පෙන්නුම් කළද පිතිකරුවන්ගේ නම් ස්ථාවර බවක් පෙනෙන්නට ඇත්තේම නැත. දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිකරුවකු බව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබෙන අතර කුසල් මෙන්ඩිස් තමන්ගේ දස්කම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට තවමත් ඉගෙන ගනිමින් සිටී.

දිනේෂ් චන්දිමාල් සවස කියා සිටියේ ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී අවම වශයෙන් ඕවර 120 ක් වත් පන්දුවට පහර දීමට හැකියාව ඇත්නම් එම තරගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට අවස්ථාව ඇති බවයි.

“එහෙම කරන්න පුළුවන් නම් අඩුතරමේ තරගය පරාජය වීමේ අවදානමෙන්වත් මිදෙන්න පුළුවන්. අපේ උත්සාහය ඉදිරි තරග වලදී ඒ ඉලක්කයට යන්න තමා” යයිද චන්දිමාල් පැවසීය.

පළමු ටෙස්ට් තරග දෙකෙදී ශ්‍රී ලංකා මුල් ඉනිම දෙක ඕවර 78.3 (ලකුණු 291) කට සහ ඕවර 49.4 (ලකුණු 183) කට සීමා විය. දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් අපේක්‍ෂිත දස්කම් දැකගන්නට නොලැබිණ. එහෙත් ඉන්දියානුවෝ මෙම තරග දෙකේදීම මුල් ඉනිමේදී ලකුණු 600 ඉලක්කය පසුකළහ.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා කැඳවූ ධනංජය ද සිල්වා එම තරගයේ ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 16 ක් නමුත් දෙවැනි ඉනිමේදී තුන්වැනි විනිසුරුවරයාගෙන් ඔහුට ලැබුණේ මහත් විනාශකාරී තීන්දුවකි. ලෝකයේ අංක 1 පන්දු යවන්නා වන රවීන්ද්‍ර ජදේජාගේ ඕවරයකදී ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පහර 4 කින් පන්දුව සිවු වතවක් හතරේ සීමාවට යැවූ ධනංජය දැවීයන්නේ උඩපන්දුවක් නොවූ උඩපන්දුවකිනි.

පල්ලෙකැළේදී ආරම්භ වන තරගය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇති විචිකිච්ඡාව වන්නේ ධනංජයගේ ස්ථානයට ළහිරු තිරිමාන්න අදේශ විය හැකිද යන්නයි. ධනංජයගේ ස්ථානය සම්බන්ධයෙන් කළ විමසීමේදී නායකයා තම අංක 6 පිතිකරුවා සම්බන්ධයෙන් විශ්වාසය පළකළේය.

“ධනංජය කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව ඔහු ක්‍රීඩා කරපු ආකාරය දිහා බැලුවොත් එයා විශිෂ්ට ඉනිම කීපයක්ම ක්‍රීඩා කළා”

“ඉනිම දෙකක් නිසා එයාව එළියට දාන්න බෑ. ඒත් අපි තාම කිසිම තීරණයක් අරගෙන නෑ. හෙට උදේ තමයි තීරණයක් ගන්නේ” යයි චන්දිමාල් කීවේය. එහෙත් ඒ චන්දිමාල්ගේ අදහස පමණි.

කණ්ඩායම තෝරා ගැනීමට යාමේදී ඉන්දීය පිලට ඒ හැටි හිසරදයක් නැති නමුත් තරගාවලිය 3-0 කින් ජයගැනීමේ අවස්ථාව මඟහැර ගැනීමට ඔවුන් සූදානම් නැත.

ටෙස්ට් පන්දු යවන්නන් අතර මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ලෝකයේ අංක 1 හිමි රවීන්ද්‍ර ජදේජාට තහනමක් පැනවී තිබෙන නමුත් ඔහුගේ තැන ගැනීමට තවත් වමත් දඟ පන්දු යවන්නකු ඉන්දීය කඳවුරේ සිටී. චයිනමන් පන්දු යවන්නකු වන කුල්දිප් යාදව් මෙතෙක් සහභාගි වී ඇති එකම ටේස්ට් තරගයේදී ලකුණු 68 කට කඩුලු 4 ක් දවාගත් පන්දු යවන්නෙකි.

ජදේජාගේ ස්ථානය කුල්ඩිප්ට වෙන්කර ඇතත් තණතීරුවේ තත්ත්වය අනුව එම ස්ථානයට ඉෂාන්ත් ෂර්මා ආදේශ වුවහොත් එයද පුදුමයට කරුණක් නොවේ. මන්ද යත් තණතීරුව ඒ තරමටම කොළ පාටය. කෙසේ වෙතත් තරගාවලිය මේ වන විටත් ජයගෙන තිබෙන බැවින් සති තුනක් බංකුවේ සිටි රෝහිත් ෂර්මාට හෝ අක්ෂර් පතෙල්ට අවස්ථාවක් දීමට ඉන්දීය නායකයාට අදහසක් තිබෙන්නටත් පුළුවන.

ටෙස්ට් ක්‍රිකට් යනු අනෙකාට ඉදිරියෙන් සිතමින් කෙරෙන ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, මාලින්ද පුෂ්පකුමාර, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ සහ ළහිරු තිරිමාන්න,

ඉන්දීය සංචිතය
ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, චෙටේස්වාර් පුජාරා, විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහනේ, රවිචන්ද්‍රන් අශ්වින්, රිදිමන් සහා, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දිප් යාදව්, උමේෂ් යාදව්, මොහොමඞ් ෂාමි, ඉෂාන්ත් ෂර්මා, රෝහිත් ෂර්මා, අක්ෂර් පතෙල්, බුවනේෂ්වර් කුමාර් සහ අභිනව් මුකුන්ද්,

 


අදහස් (0)

තරුණයන්ගේ කරේ බර පටවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.