Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරංග - දිමුත් අර්ධ ශතක ලබති

තරංග - දිමුත් අර්ධ ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දෙවැනි ඉනිම දෙකම පිතිකරුවන්ට වඩාත් වාසිදායක වූ හෙයින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල සහ පාකිස්තානු පිල අතර කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති තුන්දින පුහුණු තරගය විසඳුමකින් නිමා විය.

පළමු ඉනිමේදී ලකුණු 247 කට දැවී ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී කඩුලූ 7 කට ලකුණු 257 ක් ලබාගත් හෙයින් තරගයෙන් ජයගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට ලකුණු 264 ක ඉලක්කයක් ලැබිණ. ඉලක්කය කරා යාම කෙසේ වෙතත් හොඳ පුහුණුවක් ලබාගැනීමේ අරමුණ ඇතිව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග දෙදෙනාම අර්ධ ශතක ලබාගත්හ.

අද (13 වැනිදා) සවස තරගය අවසන් වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 3 ක් දැවී 129 ක් ලෙසින් වුවද සැබවින්ම පාකිස්තානු පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි. අර්ධ ශතක ලබාගැනීමෙන් පසුව දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග දෙදෙනාම නොදැවී පිටියෙන් ඉවත්ව ගිය නමුත් සිය කැමැත්තෙන් ඉවත්ව ගිය හෙයින් එය දැවී යාමක් ලෙස සටහන් වේ.

සවස තේ පානයෙන් අනතුරුව ඕවර 31 කදී ලකුණු 264 ක ඉලක්කයක් කරා යන මෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට අභියෝග කළ පාකිස්තානුවන්ගේ අරමුණ වූයේ තරගයෙන් ජයගැනීමට වඩා එවන් අභියෝගයක් හමුවේ තම පන්දු යවන්නන් ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමයි. එහෙත් පාකින්තානු පන්දු යවන්නන්ගෙන් ඊට සාර්ථක ප‍්‍රතිචාර නොලැබිණ.

බ‍්‍රහස්පතින්දා (11) ආරම්භ වූ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 247 කට දැවී ගිය අතර දෙවැනි දිනය වූ ඊයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ලකුණු 241 කට සීමා කිරීමට පාකිස්තානුවෝ සමත් වූහ.

අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි පාකිස්තානු පිල දිවා ආහාරයත් තේ පානයත් අතරතුරදී තවත් ලකුණු 104 ක් ලබාගත්තේ ඉක්මන් ලකුණු රැස්කිරීමක නිරත වෙමිනි.  

කලකට ඉහතදී මෙවන් පුහුණු තරග පළමු පෙළ තරග ලෙසින් සම්මත කර තිබුණ නමුත් මීට වසර කිහිපයක සිටම පුහුණු තරගවලදී කී‍්‍රඩකයන් මාරු කිරීම ආරම්භ කෙරිණ. එහිදී පිතිකරුවන් වැඩිදෙනකු පන්දුවට පහර දීම සඳහා පිටියට එවන අතර පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් 11 දෙනා අතර නොසිටින පන්දු යවන්නෝ පන්දු යැවීමට එති.

පළමු ඉනිමේදී පන්දුවට පහර නොදුන් ෂාන් මසූඞ් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට පැමිණියේ එලෙසිනි. මසූඞ් ලකුණු 62 ක් ලබා සිටියදී ජෙහාන් මුබාරක්ගේ පන්දුවකට ගැසූ පහරකින් ලැබුණු උඩපන්දුවක් ජෙෆ්රි වැන්ඩසේ අතින් ගිළිහී ගියේය. එහෙත් එයින් මඳවේලාවකට පසුව මසූඞ්ගේ ඉනිම අවසන් කිරීමට වැන්ඩසේටම හැකිවිය.

පන්දු 122 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 69 ක් ලබා සිටි ෂාන් මසූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට වැන්ඩසේ සමත් විය.

පා දග පන්දු යවන්නකු වශයෙන් තේරීම් කමිටු නිලධරීන්ගේ මෙන්ම ජාතික පුහුණුකරු මාවන් අතපත්තු මහතාගේද ඉහළම අවධානය දිනා සිටින ජෙෆ්රි වැන්ඩසේ, දෙවැනි ඉනිමේදීත් ලකුණු 94 කට කඩුලූ 3 ක් දවාගත්තේය. පළමු ඉනිමේදී ලකුණු 73 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූ වැන්ඩසේ මොහොතින් මොහොත තමන් කෙරේ අවධානය වැඩිකරගනිමින් සිටියේය.

වැන්ඩසේ හමුවේ පිත්ත දිගහැරීමට පිතිකරුවන් උත්සුක වන නමුත් නිර්භයව පන්දුව ගුවනේ පාකරමින් කඩුලූ සොයා යාමට තරම් ධෛර්යයක් වැන්ඩසේ සතුවීම නිර්ව්‍යාජ පා දග පන්දු යවන්නකු බිහිවීමේ සුබ අනාගතයක පෙරනිමිත්තකි.


සජීවී ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ පාකිස්ථානය අතර පුහුණු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (0)

තරංග - දිමුත් අර්ධ ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.