Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසරගේ ශතකය අපතේ යයි

තිසරගේ ශතකය අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තවුරංගාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී තිසර පෙරේරා (140) අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නමුත් ඔහුට සහාය දීමට පසුපෙළ පිතිකරුවන් නොසිටීම නිසා තිසරගේ ශතකය සහමුලින්ම අපතේ ගියේය. අද තරගයේදී නවසීලන්ත පිල අත්කරගත ලකුණු 21 ක ජයග්‍රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් ඕවර 5 දී (පන්දු 30 කින්) ලකුණු 50 ක් ලබාගැනීමට තිබුණද ඉතිරිව තිබුණේ එකම කඩුල්ලක් පමණි. අනෙක් අන්තයේ සිටි පිතිකරුවා නුවන් ප්‍රදීප් වූ හෙයින් තනිවම අභියෝගයට මුහුණ දීමට තිසර පෙරේරාට සිදුවිය.

45 වැනි ඕවරයේදී දැවැන්ත හයේ පහර 4 කින් ටිම් සවුතිට සංග්‍රහ කළ තිසර එම ඕවරයේදී ලකුණු 24 ක් උදුරා ගත්තේ අභියෝගය අවසන් පන්දු 24 න් ලකුණු 26 ක් තරම පහසු එකක් කරමිනි.  එහෙත් මැතිව් හෙන්රි විසින් යවන ලද ඊළඟ ඕවරයේදී ටේ‍රන්ට් බෝල්ට්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් තිසරගේ ඉනිම මෙන්ම ශ්‍රී ලංකාවේ උත්සාහයද අවසන් විය.

මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ පරාජයට පාර කැපීය. ධනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබාගත් හෙයින් එක් අවස්ථාවක ලකුණු පුවරුව දිස්වූයේ  කඩුලු 2 කට 112 ක් ලෙසිනි. එහෙත් ඕවර පහකින් පසුව කඩුලු 7 ට 128 ක් ලෙසින් ලකුණු පුවරුව වෙනස් විය. පන්දු 30 ක් ඇතුළතදී පිතිකරුවන් පස් දෙනකු දැවී ගියද එම කාලය ඇතුළත එක්වූයේ ලකුණු 12 ක් පමණි.

තරගයේ බර තනිවම කරට ගත් තිසර පෙරේරා ශ්‍රී ලංකා පිතිකරුවකු නවසීලන්තයට එරෙහිව කළ හොඳම එක්දින පිතිහරඹය ප්‍රදර්ශනය කරමින් පන්දු 74 කදී ලකුණු 140 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සහ යෝධ හයේ පහර 13 කින් නරඹන්නන් අමන්දානන්දයට පත්කරමිනි.

කඩුලු 7 කට 128 ක් ව තිබූ ලකුණු පුවරුව 298 දක්වා තල්ලු කරගෙන ගිය තිසර පෙරේරා තරගයේ වීරයා වශයෙන් සම්මාන ලබාගත්තේ අවසන් පිතිකරුවන් තිදෙනා සමග එක්ව ලකුණු 169 ක් ශ්‍රී ලංකා පිලට එකතු කළ බැවිනි.

ධනුෂ්ක ගුණතිලක තමන්ගේ තරම නොදන්නා පිතිකරුවෙකි. නවසීලන්ත පන්දු යවන්නන් අන්ද මන්ද කරන තරමේ අලංකාර පහර කිහිපයකින්ම පන්දුව හතරේ සීමාවට යවමින් සිටි වමත් පිතිකරුවා පාලනය කරගැනීමට නම් තමන්ම පන්දුව අතට ගැනීම සුදුසු බව කේන් විලියම්ස් කල්පනා කරන්නට ඇත. විලියම්සන් යැවූ පළමු පන්දුවම අවතක්සේරු කළ ගුණතිලක ගැසූ අළස පහරක් නිසා පොයින්ට්හි සිටි හෙන්රි නිකොල්ස්ට පහසු උඩපන්දුවක් ලැබුණද ඔහු එය බිම දැම්මේය. ඒ වන විට පුවරුවේ තිබූ ලකුණු 50 න් 32 කට හිමිකම් කියා සිටි ගුණතිලකට තවදුරටත් පිටයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණද පිතිකරුවන්ගේ පාරාදීසයක් වන් තණතීරුවකදී ලබාගත හැකිව තිබූ අගනා ශතකයක් ඔහු වීසිකර දැම්මේය.

රොස් ටේලර් (90) සහ කොලින් මුන්රෝ (87) දෙදෙනා එක්ව කළ වේගවත් ලකුණු රැස්කිරීම නිසා නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගත්තේය. ලකුණු වේගය වැඩිකිරීමට ගත් උත්සාහයේදී මෙම පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද පසුව පැමිණි ජේම්ස් නීෂම් පන්දු 37 කින් ලකුණු 64 ක් ලබාගනිමින් ලකූණු රැස්කිරීමේ වේගය රඳවා ගත්තේය.

හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කළ නීෂම්ද දුවද්දී දැවී ගියේ නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන  යාමෙන් පසුවය. ශ්‍රී ලංකාවට ලකුණු 45 ක පරාජයක් උරුම වූ පළමු තරගයේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉවක් බවක් නොමැතිව පහර දුන් ජේම්ස් නීෂම් එදා තරගයේදී පන්දු 13 කින් ලකුනු 47 ක් ලබාගත්තේ හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

කෙසේ වෙතත් පෙරේදා තරගයේදී ලකුණු 371 ක් ලබාගත් නවසීලන්ත පිතිකරුවන්ට එම තණතීරුව මතදීම වුවත් අද දිනයේදී ලබාගත හැකිවූයේ ලකූණු 319 ක් පමණි. පළමු තරගය සඳහා යොදාගත් තණතීරුව මේ වන විට තරමක් වෙනස් වී තිබිණ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්ස් කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මාටින් ගප්ටිල් සහ කේන් විලියම්ස් වේලාසනින්ම දැවී යාම හේතුවෙන් ලකුණු 39 කට කඩුලු 2 ක් බිඳ වැටිණ. එහෙත් එතැන් සිට එක්වූ කොලින් මුන්රෝ සහ රොස් ටේලර් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. දෙදෙනාගෙන් වඩාත් ආක්‍රමණශීලී වූ මුන්රෝ පන්දු 77 කින් ලබාගත් ලකුණු 87 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

මුනරෝ දැවී යාමෙන් පසුව හෙන්රි නිකොල්ස් සමග එක්වූ නවසීලන්තයේ සිටින පළපුරුදුම පිතිකරුවා වන රොස් ටේලර් පන්දු 105 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සිය ඉනිමට එක් කළේය. පසුව ඔහු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හෙන්රි නිකොල්ස් සමග තවත් ලකුණු 57 ක් එකතු කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමිනි.

නායක ලසිත් මාලිංග ලකුණු 45 කට කඩුලු දෙකක් දවාගත් නමුත් තිසර පෙරේරා යළිත් වතාවක් දරුණු ප්‍රහාරයකට ලක්විය. අද තරගයේදී ඕවර 7 කින් ලකුණු 69 ක් ලබාගැනීමට අවසර දුන් තිසර පෙරේරා, නවසීලන්තයට එරෙහිව පැවැති තරග දෙකකදී ඕවර ඕවර 17 කින් ලකුනු 149 ක් තිළිණ කර තිබේ.


අදහස් (0)

තිසරගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.