Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසරගේ නායකත්වයේ ඉනිම අපතේ යයි

තිසරගේ නායකත්වයේ ඉනිම අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
 

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ජෝ ඩෙනිලි සහ ආදිල් රෂීඞ් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 157 ක් පමණි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 31 කදී ලකුණු 57 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගිනි.

ලකුණු 77 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 157 ක් දක්වා ඔසවා තැබීමට අනගි සේවයක් කළේය. ජෝ ඩෙනිලි යැවූ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි අතට උඩ පන්දුවක් දෙමින් තිසර දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ නමවැනි කඩුල්ල ලෙසිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිරෝෂන් දික්වැල්ලගේ (3) සහ කුසල් මෙන්ඩිස්ගේ (1) කඩුලු බිඳ දැමීමට ජෝ ඩෙන්ලි සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තාවයකට ඇද දමමිනි. එතැන් පටන් සිට කඩුලු දඩයම ඇරඹූ ආදිල් රෂීඞ්, පළමුව දිනේෂ් චන්දිමාල්ද, දෙවනුව කමිඳු මෙන්ඩිස්ද දවාගත්තේ ඇලෙක්ස් හේල්ස්ගේ සහායද ඇතිවය.

පන්දු 20 කට මුහුණ දෙමින් අලංකාර හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක් ලබා සිටි චන්දිමාල්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ සිය ප්‍රියතම පහරක් වන රිවස් ස්වීප් පහර මගින් ඩිප් බැක්වඞ් පොයින්ට්හි පන්දු රකිමින් සිටි ඇලෙක්ස් හේල්ස්ට උඩ පන්දුවක් පිරිනැමීම හේතුවෙනි. පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් ලබාදුන් උඩ පන්දුව රැකගැනීමට හේල්ස් සමත් වූ ඩීප් බැක්වඞ් ස්කුවෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටියදිය.

කමිඳු දැවීගිය ඕවරයේම තෙවැනි පන්දුවේදී ධනංජය ද සිල්වා ලකුණු 17 කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. එහිදී ධනංජය දැවී ගිය ක්‍රීඩකයකු නොවන බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥ්ඥා කළද, එම තීරණය විනිසුරු ක්‍රමවේදයට යොමු කිරීමට එංගලන්ත නායක ඔයින් මෝගන් පියවර ගැනීමත් සමග ධනංජය දැවී ගිය ක්‍රීඩකයකු බව සනාථ විය. ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ශානකටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ලයෑම් ප්ලන්කට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට හයේ පහරක් සමග ඔහු ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. ඕවර 11.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු 113 ක් ලබාසිටි එංගලන්ත පිතිකරුවෝ නැවතත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරව සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 74 ක් එක් කළහ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 36 කදී ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවේ සිට නමවැනි ඕවරයේ පස්වැනි පන්දුව දක්වා පන්දු 10 තුළ රොයි ලබාදුන් උඩ පන්දු 3 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිළිහී ගියේ ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාකර දෙමිනි. අවසානයේ ඔහු දැවී ගියේ සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල රැකගත් දක්ෂ උඩ පන්දුවක් හමුවේය.

අර්ධ ශතකය ලබාගැනීමට පෙර ලකුණු 34 ක් සහ 41 ක් බැගින් ලබා සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දු හමුවේ රෝයි ලබාදුන් උඩ පන්දු 2 ක් ඩීප් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම සහ ලෝන් ඕෆ්හි පන්දු රකිමින් සිටි දසුන් ශානක අතින් ගිළිහී ගියේය. හයේ පහරකින් සිය 8 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමග කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ රෝයි ලබාදුන් තරමක් අසීරු උඩ පන්දුව ගිළිහී ගියේ ස්වීපර් කවර්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතිනි.

වේගවත් පිතිහරඹයක නිරත වූ එංගලන්ත ආරම්භක පිතිකරුවෝ මුල් ඕවර 3 තුළදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. එහෙත් අමිල අපොන්සු යැවූ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ගැසූ පසු පාදයේ ඩ්‍රයිව් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව, ඉදිරියට පැන උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කවර් කළාපයේ පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් සමත් වීමත් සමග ජොස් බට්ලර්ගේ (13) ඉනිම නිමාවට පත්විය. ඔහුගේ දැවීයෑමත් සමග එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 41 කට සීමා විය.

ඉන් නොනැවතුණ අපොන්සු, එම ඕවරයේම පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇලෙක්ස් හේල්ස්ද (4) ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. තෙවැනි ඕවරය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 37 ක් ලෙස සටහන් වූ එංගලන්ත ලකුණු පුවරුව අපොන්සුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිව්වැනි ඕවරය අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 46 ක් බවට පත් විය.

එක්දින තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ නායක ඔයින් මෝගන්ට මෙම තරගයේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. හතරේ පහර 2 ක් සමග ලකුණු 11 ක් ලබා සිටියදී මෝගන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වූයේ ලසිත් මාලිංගගේ සාර්ථක පන්දු යොමුකිරීම හමුවේය. වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක් රැස්කළ මුයින් අලීගේ කඩුල්ල බිඳ දැමූ ධනංජය ද සිල්වා එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 145 ක් බවට පත් කළේය.

බෙන් ස්ටෝක්ස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, ජෝයි ඩෙන්ලි හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු ලබාගැනිමේ වේගය ඉහළ දැමීමේ උත්සාහයක නිරත වුවද, පිට පිටම යැවූ පන්දු දෙකකදී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ කර දැමීය. අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී ආදිල් රෂීඞ් (5)  දැවී ගියේ ඉසුරු උදානගේ යෝකර් පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. තවමත් 20 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේය.

 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

තිසරගේ නායකත්වයේ ඉනිම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.