Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි පිල පළමු ස්ථානයට එයි

චෙන්නායි පිල පළමු ස්ථානයට එයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) පළමු වටයේ 50 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (01) රාත්‍රී පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ ලකුණු 80 කින් දිල්ලි කැපිටල්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

චෙන්නායි පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරග 13 කින් තරග නවයක් ජය ලබා ප්‍රසාද ලකුණු 18 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරුකරගැනීමට සමත් විය.  

දිල්ලි පිල තරග 13 කින් තරග අටක් ජය ලබා ප්‍රසාද ලකුණු 16 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
මෙම කණ්ඩායම් දෙකම මෙම තරගයට පෙරම අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියේය.

ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය දිල්ලි කැපිටල්ස් පිල ඕවර 16.2 කදී ලකුණු 99 කට සීමාවිය.

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර්, දිල්ලි පිලේ විනාශකරු බවට පත්වෙමින් ඕවර 3.2 කදී ලකුණු 12 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.

රවීන්ද්‍ර ජඬේජා ඕවර තුනකදී ලකුණු නවයකට කඩුලු තුනක් දවාගනිමින් චෙන්නායි පිල ඔසවා තැබීය.  
දිල්ලි පිලේ නායක ශියාස් අයියර් පන්දු 31 කින් ලකුණු 44 ක් රැස්කළේය. දිල්ලි පිලේ පිතිකරුවන් නව දෙනකුම ලකුණු දහයේ සීමාවට හෝ ළගා වීමට අපොහොසත් වීම කැපී පෙනුණි.

නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 22 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය.

මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 44) සහ රවීන්ද්‍ර ජඬේජා (25) අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් දියත් කරමින් සිවුවැනි කඩුල්ලට පන්දු 22 කින් ලකුණු 43 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

සුරේෂ් රයිනා පන්දු 37 කින් හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කර සිටියදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ෆෆ් ඩු ප්ලිසිස් පන්දු 41 කින් ලකුණු 39 ක් රැස්කළ අතර එයට හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් විය.

සුරේෂ් රයිනා සහ ෆෆ් ඩු ප්ලිසිස් දෙවැනි කඩුල්ලට ලකුණු 83 ක සම්බන්ධතාවක් පවත්වමින් චෙන්නායි පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ.

චෙන්නායි පිලට පළමු ඕවර හය තුළදී ලකුණු 27 ක් පමණක් රැස්කිරීමෙන් අමාරුවේ වැටුණි.  

ෂේන් වොට්සන් ලකුණු නොලබා දැවී යෑමෙන් චෙන්නායි පිලේ ආරම්භය අසාර්ථක විය.

දිල්ලි පිලේ නායක ශියාස් අයියර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 179
(ෆෆ් ඩු ප්ලිසිස් 39, සුරේෂ් රයිනා 59, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 44, රවීන්ද්‍ර ජඬේජා 25, ජගදීෂ සුචිත් 28/2)

දිල්ලි කැපිටල්ස් පිල ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 99
(ශීකර් ධවාන් 19, ශියාස් අයියර් 44, ඉම්රාන් තාහිර් 12/4, රවීන්ද්‍ර ජඬේජා 9/3)

 

 

ඡායාරූප -  අයි.පී.එල්. නිලවෙබ්අඩවිය ඇසුරිනි

- 048


අදහස් (0)

චෙන්නායි පිල පළමු ස්ථානයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.