ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට පිළිතුරුදීම සඳහා ඔවුන් තමන්ට එවන බව කියූ ලිපිය ලැබෙනතුරු බලා සිටින බව ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.
ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම ඇතුළුව ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ”ලංකාදීප”ය කළ විමසුමකදී ඇමැතිවරයා එසේ පැවසීය.
‘‘ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විවිධ අය විවිධ කතා කියනවා. නමුත් ඒ කියන තරම් දෙයක් ඇති වෙලා නැහැ. මට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව ඒ ගැන කරුණු දක්වලා ලිපියක් එවනවා කිව්වා. ඒක ඊයේ වනවිටත් මට ලැබී තිබුණේ නෑ. ඒ ආවාම මම උත්තරයක් යවනවා.”
ඒ පිළිබඳව ”ලංකාදීප”යට ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමෙන් පසු පැන නැගී තිබෙන වත්මන් තත්ත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රාජ්‍ය බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට ඉල්ලූම් කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා එම ණය මුදල ඉල්ලූම් කර තිබේ. දැන ගන්නට ලැබෙන පරිදි එම ණය මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.
ක‍්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් ඇතුළුව පුහුණුකරුවන් හා නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ වැටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 30ක් පමණ මුදලක් මාසිකව වැය වෙයි. ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව කණස්සල්ල පළ කරමින් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව ලෝක කුසලාන තරඟ ආදායමෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස රඳවා ගැනීමට තීරණය කර තිබේ.
මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 16කි. එයින් මිලියන 1.6ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ ගෙවීම් සඳහා වෙන් කෙරේ.
”ලංකාදීප”ය වැඩිදුරටත් විමසීමේදී ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙනයාම සඳහා ”ලංකා බැංකුව” උපකාර කිරීමට කැමැත්ත පළ කර තිබෙන බවය.
මේ අතර ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම සම්බන්ධයෙන් දැන් උද්ගතවී තිබෙන තත්ත්වයද ක‍්‍රීඩා ඇමැතිවරයා ”ලංකාදීප”යට පැහැදිලි කර සිටියේය.
‘‘දෙක තුනක් හැරෙන්නට ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම මේ වෙනකොට සියයට අනූවක්ම දක්වා සාර්ථකවී තිබෙනවා. ඒ සියල්ල ලබන මැයි 15 වැනිදාට පෙර නව ක‍්‍රීඩා රෙගුලාසි යටතේ පවත්වන ලෙසත් අප උපදෙස් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔය කියන ලොකු ගැටළුවක් ඇතිවෙලා නෑ.” යැයිද එහිදී ඇමැතිවරයා පවසා සිටියේය.
කෙසේ වුවත් මේ වනවිට ශ්‍රී ලකාවේ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් සභාව, අන්තර් ජාතික පාපන්දු සම්මේලනයද දැඩි අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ.
ක‍්‍රීඩා ඇමැතිවරයා ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය දේශපාලන පසුබිමක් මත සිදු වූයේද යන්න පිළිබඳව අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව අවධානය යොමු කර සිටින අතර ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ නව රෙගුලාසි එවැනි දේශපාලන පසුබිමක් මත ක‍්‍රියාත්මක කළේද යන්න පිළිබඳවත් මේ වනවිට අන්තර් ජාතික ඔලිම්පික් සභාව මෙන්ම ලෝක පාපන්දු සමමේලනයද කරුණු විෂ්ලේෂණය කරමින් සිටින බවත් වාර්තාවේ.
තත්ත්වය එසේ වන අතර ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සංවිධාන ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධවෙන් දැඩි පියවර ගැනීමට සූදානමින් සිටින බවයි.
ඒ පවතින තත්ත්වයේ වෙනසක් නොකිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන් උනන්දු නොවන්නේ නම්ය.
පසුගිය අපේ‍්‍රල් 6 වැනිදා එවැනි ලිපියක් අන්තර් ජාතික ඔලිම්පික් සභාව ශ්‍රී ලංකාවට යොමුකර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිචාරය දැක්වෙන පිළිතුරු ලිපියක් එම සභාවට යොමු කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළ බවද වාර්තාවේ.
මේ අතර ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව විරෝධතා රැස්වීමක් හෙට (25) පෙරවරු 10.00ට කොළඹ එස්.එස්.සී. පිටියේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සාමාජික සියලූ සංගම් හා ක‍්‍රීඩා සමාජ ඇරියුම් ලබා තිබෙන අතර එහිදී ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවට විරෝධතා ලිපියක් යොමු කිරීමට එය සංවිධානය කරන ක‍්‍රීඩා සමාජ එකමුතුව තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.