Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව් පිල කඩුලු 5 කින් අයර්ලන්තය පරදවයි

කොදෙව් පිල කඩුලු 5 කින් අයර්ලන්තය පරදවයි

ශනුක අරවින්ද - 2019 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොනතන් කාටර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

එහිදී දක්ෂ පිතිහරඹක නිරත වූ ආරම්භක පිතිකරු සුනිල් ඇම්බි්‍රස් පන්දු 126 කදී හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 148 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ශායි හෝප් (30) සමග එක්ව කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 84 ක් එක්කළ ඇම්බි්‍රස්, ඉන් නොනැවතී රොස්ටන් චේස් (46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 116 කදී ලකුණු 128 ක්ද එක්කරමින් කොදෙව් ඉනිම ගොඩනැගුවේය.

පන්දු 32 කදී වාර්තා වූ හෝප්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 53 කදී වාරත් වූ චේස්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. නායක ජේසන් හෝල්ඩර් පන්දු 24 කදී ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.  
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 327 ක් රැස්කළ අතර එහිදී පන්දු 124 කට මුහුණදුන් ඇන්ඩෘ බැල්බීන් හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 135 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු පෝල් ස්ටාර්ලින් (77) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 165 කදී ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බැල්බීන් සමත් විය. පන්දු 98 කදී වාර්තා වූ ස්ටාලින්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත විය.

කෙවින් ඕ’බ්‍රයන් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 63 ක්ද, මාක් ආදිර් සමග එක්ව පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක්ද සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් අයර්ලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

අයර්ලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 5 කට 327
(පෝල් ස්ටාර්ලින් 77, ඇන්ඩෘ බැල්බීන් 135, කෙවින් ඕ’බ්‍රයන් 63, මාක් ආදිර් නොදැවී 25, ශැනන් ගේබි්‍රයල් 47/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 47.5 කදී කඩුලු 5 කට 331
(ශායි හෝප් 30, සුනිල් ඇම්බි්‍රස් 148, ඩැරන් බ්‍රාවෝ 17, රොස්ටන් චේස් 46, ජොනතන් කාටර් නොදැවී 43, ජේසන් හෝල්ඩර් 36, බොයිඞ් රැන්කින් 65/3)

-036


අදහස් (0)

කොදෙව් පිල කඩුලු 5 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.