Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් - මැතිව්ස් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවති

කුසල් - මැතිව්ස් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවති

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්ගේ (නොදැවී 116) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 117) ශතක හමුවේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනයවූ අද (18 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 259 ක් ලබා සිටියේය. 

ඒ අනුව තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 37 ක් පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට වැඩි අවස්ථාවක් සලසාදීමට මෙන්ඩිස් සහ මැතිව්ස් සමත් වූහ.

තෙවැනි දිනට ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 20 කට කඩුලු 3 ක් දැවී අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් මුදවා ගත් මෙන්ඩිස් සහ මැතිව්ස්, සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 246 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ. 

33 වැනි ටෙස්ට් තරගයට සහභාගීවන කුසල් මෙන්ඩිස් සිය 6 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත් වූ අතර අවසන් වරට ජුනී මාසයේදී කොදෙව් දූපත්හිදි ශතකයක් ලබාගැනීමෙන් පසුව ශතකයක් ලබාගැනීමට ඔහුට ඉනිම 16 ක් වැය විය. ඔහුගේ ශතකයට හතරේ පහර 12 ක් ඇතුළත් විය. 

79 වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ඇන්ජලෝ මැතිව්ස් සිය 9 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත වූයේ හතරේ පහර 11 ක් සමගිනි. අවසන් වරට 2017 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව දිල්ලිහිදී ශතකයක් ලබාගැනීමෙන් පසුව ශතකයක් ලබාගැනීමට ඔහුට ඉනිම 15 ක් වැය විය. 

සිවුවැනි දිනය ආරම්භ වී දිවා ආහාරයට තරගය නතර කරනතෙක් කාළය තුල ඕවර 28 ක් යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වුවද කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 102 ක් රැස්කළ මෙන්ඩිස් සහ මැතිව්ස්ට දිවා ආහාරය සහ තේ පානය අතරතුර කාළය තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 75 ක් පමණි. තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් කාලය තුල රැස්කිරීමට හැකිවූයේ ලකුණු 62 කි.

මින් පෙර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් දිනයක් තුළ පන්දු යවන්නන් විසින් පිතිකරුවෙක් දවානොගත් අවස්ථා 21 කදී වාර්තාවී ඇති අතර ඉන් අවස්ථා 4 කට ශ්‍රී ලංකා කණ්ඩායම දායකවී ඇත. 1986 වසරේදී පාකිස්තානට එරෙහිව පැවැති තරගයේ පස්වැනි දිනයේදී අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග දිනය පුරා පන්දුවට පහරදුන්හ. 

ඉන්පසුව 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ තෙවැනි සහ සිවුවැනි දිනයන් පුරා පන්දුවට පහරදීමට සනත් ජයසූරිය සහ රොෂාන් මහනාම සමත්වූ අතර අවසන් වරට 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ දෙවැනි දිනය පුරා පන්දුවට පහරදීමට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සමත්වූහ.

හෙට (19) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

 

 

 

386307-01-02

386465-01-02

386470-01-02

ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි 


අදහස් (0)

කුසල් - මැතිව්ස් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නංවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.