Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් - දිමුත් තණතීරුව උඩු යටිකුරු කරති

කුසල් - දිමුත් තණතීරුව උඩු යටිකුරු කරති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ඉනිමේදී පිතිහරඹය කළ එස්.එස්.සී. තණතීරුවම උඩුයටිකුරු කළ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කුසල් - දිමුත් දෙදෙනාගේ සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 209 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ඉන්දියානුවන් සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 622 ට පිළිතුරු සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 183 කට දැවී ගියත් දෙවැනි ඉනිමේදී කළ පිතිහරඹය නිසා ශ්‍රී ලංකාවේ ගෞරවය යම්තාක් දුරට රැකගැනීමට හැකිවිය. කුසල් මෙන්ඩිස් ශතකය ලබාගත් සැණින් නරඹන්නන්ගේ ආචාරය පිළිගත්තේ තමන්ගේ කමිසයේ වම්පස සටහන් වී ඇති ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් පෙන්වමිනි.

දිනය නිමා වන විට නොදැවී ලකුණු 92 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න විනාඩි 238 ක් පුරා සිය කඩුල්ල රැකගෙන සිටියේය.

අද සවස ක්‍රීඩාව නතර කිරීමට විනාඩි 15 ක් පමණ තිබියදී රිදිමන් සහා විසින් රැකගන්නා ලද අති විශිෂ්ට ගනයේ උඩපන්දුවකින් කුසල් මෙන්ඩිස්ගේ අගනා ඉනිම නිමා විය. පන්දු  135 කට මුහුණ දී සිටි මෙම සුරුබුහුටි දකුණත් පිතිකරුවා ඒවායින් 17 ක් හතරේ සීමාවට යවා තිබිණ. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුව මෙන්ඩිස්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී පා ඉන්න දෙසින් ඈතට ඇදී යද්දී ගොදුරක් ඩැහැගැනීමට පනින මසකු මෙන් ඒවෙත ඇදී ගිය රිදිමන් සහා උඩපන්දුව රැකගත්තේය.

රවීන්ද්‍ර ජදේජා හමුවේ ගැසූ අලංකාර ස්වීප් පහරකින් සිය තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගත් මෙම කුඩා පිතිකරුවා මෙතෙක් ලබාගත් ටෙස්ට් ශතක තුනම අති විශිෂ්ට ඒවා විය. එයින් ශතක දෙකක්ම (ඕස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී 176 යි සහ බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී 194 යි) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන ගිය ඉනිම වූයේය.

ඉන්දියානුවන් පන්දුවට පහර දෙද්දී පිතිකරුවන්ට පරාදීසයක්ව තිබූ එස්.එස්.සී. තණතීරුව ශ්‍රී ලංකා මුල් ඉනිමේදී මර උගුලක් වී තිබිණ. ඉන්දියානුවන් කඩුලු 9 කට ලකුණු 622 ක් ලබාගත් තණතීරුව මතදීම ශ්‍රී ලාංකිකයන් ලකුණු 183 කට දැවී ගියේ ලකුණු 439 ක මුල් ඉනිමේ වාසියක් ඉන්දියාවට ඉතිරි කරමිනි. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව දෙවැනි වතාවටත් පිති අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී දැක්වූ දුර්වලතා මකා ගනිමින් තේ පානය වන විට කඩුල්ලක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වී යැවුණු තුන්වැනි ඕවරයේ අවසන් පන්දුව උපුල් තරංගගේ පා ආවරණයත් පිත්තත් අතරින් රිංගා කඩුල්ලට කඩාවදින විට ප්‍රධාන පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 7 ක් පමණි. එහෙත් එතැන් සිට ඉනිම ගොඩනැංවූ දිමුත් කරුණාරත්න සහ මෙන්ඩිස් දෙදෙනා දෙවැනි ඉනිමේදී සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු රැඳවූහ.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන අතර ඉන්දියානුවෝ තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 230 ක් ඉදිරියෙන් සිටිති. මෙම ලකුණු සංඛ්‍යාව ආවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඕනෑ තරම් කාලය සහ ඕවර ඉතිරිව ඇතත් ඔවුන් අත ඇත්තේ කඩුලු 8 ක් පමණි. මෙම ලකුණු 230 ඉක්මවා ලබාගත්තද අවශ්‍ය වුවහොත් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියානුවන්ට තිබේ.

මෙන්ඩිස් ලකුණක් පමණක් ලබා සිටියදී මිඞ් ඕන් ස්ථානයට ලැබුණු උඩපන්දුවක් ෂිකාර් ධවාන් වෙතින් ගිළිහී ගියේය. පිතිකරුවා තවත් ලකුණු 25 ක් ලබාගැනීමෙන් අනතුරුව කඩුලු රකින්නා උඩපන්දුවක් රැකගත්තේ යයි විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඞ් මහතා තීරණය කළද විතීවි ක්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි මෙන්ඩිස් එයින් ගැළවුණේය. මෙම තරගයේදී ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය වෙනස්වූ පස්වැනි අවස්ථාව එයයි.  

ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ පැය දෙකකට ආසන්න කාලයකදී කඩුලු 8 ක් අහිමි කරගත්තේය. ටෙස්ට් තරගයක විවේක කාල දෙකක් අතරේ කඩුලු 8 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අහිමි කරගත් අවස්ථා හයකින් අවස්ථා තුනකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නමත් සටහන් වී තිබේ.

සිකුරාදා සවස තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදි දිමුත් කරුණාරත්න කියා සිටියේ එස්. එස්.සී ටෙස්ට් තරගය සඳහා තමන් දඟ කැවෙන තණතීරුවක් ඉල්ලා සිටි බවයි. එහෙත් තමන් ඉල්ලූ තණතීරුවේදීම ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ කඩුලු 7 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ අමාරුවේ වැටී සිටිති.

දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා පිතිකරුවන් අන්දමන්ද කළ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් තරග 51 කදී 26 වැනි වතාවටත් කඩුලු 5 ක් දවාගත්තේය. තවමත් 30 හැවිරිදි දකුණත් පා දඟ පන්දු යවන්නා මේ දක්වා දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 284 කි. මේ අතර තම 150 වැනි ටෙස්ට් කඩුල්ල අද දවාගත් රවීන්ද්‍ර ජදේජා අඩුම තරග සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 150 සීමාවට ළඟා වූ වමත් පන්දු යවන්නා වෙයි.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි


අදහස් (0)

කුසල් - දිමුත් තණතීරුව උඩු යටිකුරු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.