“ශ්‍රී ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙන රටක් නෑ” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ “ටීෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා” යයිද ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව අතින් පහළ මට්ටමක සිටින බවත් කී ඇමතිවරයා “අපේ කණ්ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ” යයිද “මේ අයව හමුදා කඳවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕන. නැත්නම් මේක හරියන වැඩක් නෙවෙයි” යයිද පැවසීය.
ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් පසුගිය සිකුරාදා ඇමතිවරයා මේ බව පැවසීය. මෙම සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය සිකුරාදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට අධික පිරිසක් වෙත එදින සහතික පත්‍ර ප්‍රදානය කළ අතර ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසු සිසුවියෝ ඒ අතර වූහ.
ක්‍රීඩා ඇමතිවරයා එදින කළ කතාව පහත දැක්වේ.
පසුගිය වකවානුවේ ක්‍රීඩා විද්‍යා අයතනය සතුව තිබූ අයිතිවාසිකම් සහ ඔවුන් සතුව තිබූ විවිධ පාඨමාලාවන් විවිධ ආයතන සමග හුවමාරු කරගෙන තිබුණා. මේ රටේ ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණුකරනවා නම් ඒ සඳහා ඇති එකම ස්ථානය ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයයි. ඒ සඳහා 1973 දී පනතක් මඟින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රත්නායක මැතිතුමා මේ ක්‍රියාවලිය ආරම්භ කළා.
ක්‍රීඩා අභ්‍යාස සහ පුහුණුවීම් ක්‍රමවේද දවස ගාණේ වෙනස් වෙනවා. නමුත් ලංකාවේ පෙනෙන්නේ එය පහළට වැටී ඇති තත්ත්වයක්. ලංකාවේ ඉහළම මට්ටමේ පුහුණකරුවන් සිටින්නේ තුන් හතර දෙනයි. ඒ අය හැර වෙනත් කාටවත් මෙතෙන්ට එන්න හම්බෙන්නෙත් නෑ. එන්න දෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය.
දැන් අපි හිතන්න ඕන මේ තුන් හතර දෙනාගෙන් ලංකාවට අවශ්‍ය පුහුණු කිරීම් කරගන්නවාද නැත්නම් විවිධ ක්ෂේත්‍රවලින් තවත් පුහුණුකරුවන් ඇති කරගන්නවාද කියන එක. එහෙම නැත්තනම් තුන් හතර දෙනෙක්ගේ ඒකාධිකාරයට යටවෙලා ඉන්නවාද නැත්නම් තමුන්නාන්සේලා අතරින් තවත් පුහුණුකරුවන් හදාගන්නවද කියන දෙකින් එකක් අපිට තෝරගන්න වෙනවා.
ලංකාවේ ක්‍රීඩාව ඇද වැටීමට ඇති පළවෙනි හේතුව තමයි පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබීම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. මේ නිසා තමයි අද විශාල අර්බුධයක් රට තුළ ඇතිවී තිබෙන්නේ.
ක්‍රීඩාවේ සිටි කෙනෙක් ලෙස මම දන්නවා තාමත් අපි භාවිතා කරන්නේ 1960 ගණන්වල භාවිතා කළ ක්‍රමවේදමයි. බඩට කරවන ව්‍යායාම තාමත් 1975, 80 කාලේ කරපුවා. ව්‍යායාමවල ලෝකයේ සිදුව තිබෙන වෙනස්කම් තවමත් අපි දන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් අවුරුදු 13, 14, 15 න් පහළ යනතුරු අපි ශක්ති අභ්‍යාස කරනේ නැහැ. කරන්නේ අතපය හොල්ලලා කොන්ද නමලා ව්‍යායාම ටිකක් කරන එක විතරයි. අවුරුදු 19 න් පහළ විතර තමයි ශක්ති වර්ධන ක්‍රමවේදයන්ට යොමුවෙන්නේ.
ක්‍රිකට්වල නම් ජාතික කණ්ඩායමට පැමිණි පසුවයි ශක්ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි. ලංකා කණ්ඩාමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදු වෙන්නේ 50 ගහන කොට කකුල අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25 ක් ගහන කොට දුවාගන්න බෑ.
මේච්චර කල් ක්‍රිකට්වල තිබුණා ක්‍රීඩකයෙක්ගේ කකුලේ ආබාධයක් ඇතිවුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක් ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තිබෙන්නේ. ඒක හොඳයි. මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන. එහෙම ෆිට්නස් නැත්නම් ස්ටේ්‍රන්ත් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක් නෑ. ජාතික කණ්ඩායමට ආවට පස්සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අපෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොඳ ප්ලේයර් කෙනෙක් කියලා. මෙයාගේ මංශ පේශියක් ගියොත් සෙල්ලම් කරන්න බැරිවෙනවා කියනවා. ඉතිං ක්‍රීඩා කරනවිට පේනවා ටීෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙන රටක් නෑ. කිහිපදෙනයි එහෙම නැතුව ෆිට්නස් ස්ටේ්‍රන්ත් එක්ක ඉන්නේ.
මේක කිවුවට පස්සේ මට කට්ටිය බනින්න පුළුවන්. කෙනෙක් කියලා තිබුණේ කැච් අත ඇරුනා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුන නිසා තමයි මැච් පැරදුනේ. කැච් එක ගන්න ළඟට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ.
අද බලන්න බංග්ලදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන්ව ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් කරන නිසා. නමුත් අපේ කණ්ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිවුවේ මේ අයව හමුදා කඳවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා. නැත්නම් මේක හරියන වැඩක් නෙවෙයි.
50 ගහන කොට කකුළ අල්ලගෙන බිම ඉඳගන්නවා. මම දැක්කා වතාවක් භෞතචිකිත්සක ඕවරයට 4 පාරක් විතර ඇවිල්ලා කුකුල අතගාල යනවා. කුඩා කාලේදිම ශක්ති වර්ධන ව්‍යායාම හම්බෙලා නැති නිසා ආබාධ පොඩි කාලේ ඉඳන්ම ඇතිවෙලයි තිබෙන්නේ.
මේකට තමයි අද දවසේ සහතික පත්‍ර ලබන ඔබ තමුන්නසේලාව අපි පුහුණු කරන්නේ. අද දැල්පන්දු ක්‍රීඩාව වැඩිම ආබාධ සහිත ක්‍රීඩාවක් බවට පත්වෙලා. ළමයි මුළු අවුරුද්ද පුරාම උදේ ඉඳන් හවස් වෙනකම්ම මැචස් ගහනවා. රගර් ක්‍රීඩාවත් එහෙමයි. මාස දෙක තුනයි සමහර වෙලාවට තරග නැත්තේ. මේ ළමයින්ගේ මාංශ පේශීන්ට කිසිම නිදහසක් විවේකයක් නැහැ. ලෝකේ අනිත් රටවල අවුරුදු 13, 14 දරුවොන්ට අඩි 6 ක් විතර උස යන්න පුළුවන්. ලංකාවෙත් යන්න පුළුවන්. නමුත් නියමිත වෙලාවට කැම ටික ලැබෙන්නේ නැහැ.
ප්‍රෝටීන් ටික නැහැ. BMI (ස්කන්ධ දර්ශකයේ) පරීක්ෂාවන් නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමට තමයි මට අවශ්‍ය වුනේ ඔබ තමුන්නසේලාාව ගෙනල්ලා පුහුණු කරලා සේවය ලබාගන්න.
ලංකවේ හොඳ පුහුණුකරුවෝ පිරිසක් හදාගන්න පුළුවන් නම් ලංකාවෙ හොඳ ක්‍රීඩකයො ටිකක් හදාගන්නත් පුළුවන්. ලංකාවේ ක්‍රීඩකයො නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවො නැති නිසා. අපි මේ වෙනකොට ලංකාවේ පාසල් 6440 කින් දරුවෝ තෝරලා පාසල් 316 ක් තුළ ඔවුන්ව පුහුණු කිරීමේ මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. 2028 දක්වා මේ පුහුණුවීම් සිදුවෙනවා. මම එනවිට පාසල් මට්ටමේ පුහුණුකරුවන් විශාල පිරිසක් සිටියා අවුරුදු ගණනාවකින් කිසිම පුහුණුවක් නොලබපු. මම සජිත් ජයලාල් මහත්මයාට කිවුවා පළාතෙන් පළාතට ගොස් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරලා මේ අයට අලුත් පුහුණු කිරීම් ක්‍රමවේද කියා දීලා පුහුණු කිරීමේ වැඩපිවෙළක් පටන්ගන්න කියලා. එතකොට අපිට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්”
ඒ වගෙම තමුන්නාන්සෙලා අතරින් ඉතා විශාල පිරිසක් අපේ අමාත්‍යාංශයට බඳවාගන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රීඩා 23 ක් යටතේ පුහුණුකරුවන් 23 දෙනෙකු බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන් අතරින් ඔලිම්පික්, ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලීය මට්ටමට ගෙන යා හැකි ක්‍රීඩකයින්ව තනන පුහුණකරුවන්ව මම බලාපොරොත්තු වෙනවා විවිධ රටවලට යවා තවදුරටත් පුහුණු කරන්න. මට ඉන් අවශ්‍ය කරන්නේ තුන්වන හතරවන මට්ටම්වල සිරවී සිටින පුහුණුකරුවන්ව එතනින් පස්වන හයවන මට්ටම්වලට ගෙන එන්න.
මේවන විට මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පස්වන මට්ටමේ පුහුණුකරුවන් තුන් හතරදෙනයි සිටින්නේ. ඒ නිසා තමුන්නන්සෙලා අතරින් වැඩි පිරිසක් එතැනට යා යුතුයි. මෙය මෙතැනින් නතර වෙන දෙයක් නෙවෙයි.
අද චන්දික හතුරුසිංහට පුළුවන් වී තිබෙනවා බංගලාදේශයට ගිහින් බංගලාදේශ කණ්ඩායම ලොව හොඳම කණ්ඩයමක මට්ටමට ගෙන ඒමට. ඒ වගේම මතක තියාගන්න, තමන් ඔලිම්පික් ගියා, වර්ල්ඩ් කප් දිනුවා එහෙමත් නැත්නම් ලෝකේ තිබෙන හොඳම කණ්ඩායමේ ක්‍රීඩා කළා කියලා නැත්නම් විකට් 400 ක්, 800 ක්ගත්තා කියලා හොඳ පුහුණුකරුවෙක් වෙන්න බැහැ. පුහුණුකරුවෙක් වෙන්න නම් ඔහු පුහුණුකරුවකු වීමට පුහුණු විය යුතුයි.
චමින්ද වාස් කියන්නේ විකට් 400 ක් ගත්තු ලෝකේ ඉන්න හොඳම වේග පන්දු යවන්නෙක් ලෙස නම් දරපු ක්‍රීඩකයෙක්. මම ඔහුට කිවුවා පුහුණුකරුවෙකු ලෙස පුහුණුවන්න කියලා. අද චමින්ද වාස් ඉතාම දක්ෂ පුහුණුකරුවෙක් හැටියට විවිධ රටවල වැඩ කරන්නේ ඒ පුහුණුව ලබාගත් නිසයි. ඒ නිසා හිතන්න එපා තමන් ලොකු මෙඞ්ල් එකක් ගත්තා කියලා තමන්ට අනිත් අයව පුහුණු කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බැහැ.
එහෙම පදක්කම් නොගත් අය අද හොඳ පුහුණුකරුවන් වී තිබෙනවා. ඩෙව් වට්මොර් ටෙස්ට් තරග 50ක් වත් ක්‍රීඩා කර නැහැ. නමුත් අද ඔහු ලොව සිටින දක්ෂ පුහුණුකරුවෙක්.
ඒ වගේම අපි විදෙස් පුහුණුකරුවන් මෙරටට ගෙන ඒමටත් කටයුතු කරනවා. පසුගිය වකවානුවේ මෙරට කෙටි දුර සහ මැදි දුර ධාවන තරග කරුවන් කෙන්යාවට ගොස් පුහුණුවීම් ලැබුවා. ඉන්පසු කෙන්යාවේ පුහුණුකරු මෙරටට පැමිණ පුහුණුවීම් ලබාදුන්නා. ඒ පුහුණුකරු මා සමග පැවසූ දෙයක් තමයි ලංකාවේ ඉතාම හොඳ පුහුණුකරුවන් සිටින බව. මළල ක්‍රීඩා වගේම අනෙකුත් ක්‍රීඩාවලත් අපි උත්සහ කරනවා ලොව සිටින දක්ෂ පුහුණුකරුවන් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ලබාදෙන පුහුණුව තුළින් අපේ පුහුණුකරුවන්වත් වඩා ඉහළ තලයකට රැගෙන යන්න.
අද දින සහතික පත්‍ර ලබන ඔබ තමුන්නසේලා තව දුරටත් මහන්සි වී වැඩ කරන්න. ඔබ ලබන සහතිකය සමග ලෝකයේ ඕනෑම රටකට ගොස් වැඩකිරීමේ හැකියාව ලැබෙනවා. මේවනවිට විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට මෙන්ම මෙරට පුහුණුකරුවන් ඉහළ තලයකට රැගෙන යාමට අපිට රුපියල් මිලියන 100 ක මුදලක් හිමිවී තිබෙනවා. පළවෙනි මට්ටමේ පුහුණුකරුවන් දෙවන මට්ටමට ගෙන එමටත් දෙවන මට්ටමේ පුහුණුකරුවන් තුන්වන මට්ටමටත් ඉන් ඉදිරියටත් ගෙන ඒමට අපි වැඩකරනවා. සමහර පුහුණුකරුවන්ට මේ පුහුණුව ලැබීමට මුදල් නෑ. එවැනි වෙලාවට අපි ඔවුන් වෙනුවෙන් වියදම දැරිමට සූදනම්ව සිටිනවා. යයිද ඇමතිවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.