ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වත්කම් කළමනාකරණ සමාගමක් පිහිටුවීම ඇතුළුව තවත් වැදගත් යෝජනා දෙකක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ආයතනයේදී පැවැති මහ සභා රැස්වීමට ක්‍රිකට් සංගම් නියෝජිතයන් 76 දෙනකු සහභාගි වී සිටි අතර එහිදී පසුගිය වසරේ වාර්ෂික වාර්තාව සහ විගණක දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලද ක්‍රිකට් ආයතන මූල්‍ය වාර්තාව ද ඒකමතිකව සම්මත කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දැක්ම යටතේ කලම්බු ස්කූල් ඔෆ් බිස්නස් ඇන්ඞ් මැනේජ්මන්ට් ආයතනයේ අධ්‍යාපන ප්‍රධානී සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මැතකදී සිදුකරනු ලැබූ සමීක්ෂණයේ වාර්තාවද මෙහිදී ක්‍රිකට් සංගම් නියෝජිතයන්ට බෙදා දෙන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම් කළමනාකරණ සමාගම පිහිටුවීමේ යෝජනාව ක්‍රිකට් සංගම් නියෝජිතයන්ට ඉදිරිපත් කිරීම සිදුවූයේ එම සමීක්ෂණ වාර්තාවට අනුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වත්කම් කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරිමට පෙර එය මහ සභාව වෙත යොමු කොට අනුමැතිය ලබාගැනීම පළමුව සිදුකළ යුතු කාර්යය බවට නීතිපති දෙපාර්තුමේන්තුව විසින් දෙනු ලැබූ උපදෙස් අනුව මේ යෝජනාව ඉදිරිපත් කෙරිණ.
මෙවැනි සමාගමක් ස්ථාපිත කිරීම සම්බන්ධව ක්‍රිකට් නියෝජිතයන් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අතිරේක සොලිස්ටාර් ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ දී පැවැති අතර එම සාකච්ඡාවෙන් පසුව එම දෙපාර්තුමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා වෙත ඔවුන්ගේ නිරික්ෂණ ඇතුළත් වාර්තාවක් ලබා දී ඇත.
ඉහත සඳහන් කළ පරිදි වත්කම් කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරිමට පෙර එය මහ සභාව වෙත යොමු කොට අනුමැතිය ලබාගැනීම එම නිරීක්ෂණ වාර්තාවේ එක් කරුණක් විය. මීට අමතරව එම සමාගම පිහිටුවීමට නම් දැනට පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව ද සංශෝධනය කළ යුතුව ඇත.
වත්කම් කළමනාකරණ සමාගමක් පිහිටුවිම හා ඊට අදාළ අරමුණු පිළිබඳ පැහැදිලි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතිය ලබා ගත යුතුව ඇතැයි ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වෙත 2017 මැයි මස 15 දිනයෙන් යුතුව යොමු කරන ලද ලිපියෙහි සඳහන් වෙයි. වත්කම් කළමනාකරණ සමාගමක් පිහිටුවීම කැබිනට් මණ්ඩලයේ නිර්දේශ හා තීරණය මත අවශ්‍ය නීති කෙටුම්පත් කොට සිදුකළ යුතුව ඇතැයි ද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රිකට් සභාපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභාවක් රැස් වූයේ වසර 12 කට පසුවය. අද රැස්වූ මහ සභාවේදී ඒකමතිකව සම්මත වූ සෙසු යෝජනා වන්නේ පාසල් ක්‍රිකට් කමිටුවක් ස්ථාපිත කිරිම සහ ක්‍රිකට් විධායක කමිටුවට කාන්තා ක්‍රිකට් නියෝජනයක් ඇතුළත් කිරිමය.
පාසල් ක්‍රිකට් සංගමයේ සභපතිවරයා, ක්‍රිකට් ආයතනයේ උපලේකම්වරයා සහ උපභාණ්ඩාගාරිකවරයා ඇතුලුව පාසල් ක්‍රිකටි සංගමයෙන් යෝජනා කරන පුද්ගලයන් දෙදෙනකු සමග ඉදිරියේදී නම් කිරිමට නියමිත පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විතව පාසල් ක්‍රිකට් කමිටුව ස්ථාපිත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට කාන්තා ක්‍රිකට් නියෝජනය සිදුකිරීමට නියමිතව ඇත්තේ කාන්තා ක්‍රිකට් කමිටුව නිර්දේශ කරන පුද්ගලයෙකි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.