ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවැති සිය පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවීමත් සමග ඕස්ට්‍රේලියානුවන් කුරුමානම් අල්ලමින් සිටින්නේ හෙට (5) බංග්ලාදේශයට එරෙහිව ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය කෙරෙහිය.
ඒ කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් දෙගිඩියාවෙන් පසුවන්නේ මෑත කාලයේ අන්තර්ජාතික ක්‍රිකට් කරළියේ විස්මිත දියුණුවක් පෙන්වමින් සිටින බංග්ලාදේශ පිතිකරුවන් මුහුණදෙන ආකාරය කෙබඳු වේවිදැයි යන්නය. එදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී වර්ෂාවෙන් බාධා පැමිණීමට පෙර ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ නවසීලන්ත පිතිකරුවන් වෙතින් නොසෑහෙන්න බැට කමින් සිටියහ.
පළමු තරගය අතහැර දැමීමෙන් තමන්ට මෙන්ම නවසීලන්තයටත් ප්‍රසාද ලකුණ බැගින් බෙදීයාම ඕස්ට්‍රේලියානු නායකයාගේ සිත් ගත්තේ නැති කාරණාවකි. එබැවින් ඔහුගේ අභිප්‍රාය වී ඇත්තේ හෙට තරගයෙන් බංග්ලාදේශය පරදවා ප්‍රසාද ලකුණු දෙකම අතට ගැනීමය. එබැවින් මේ තරගයේදී සිය පන්දු යවන්නන් වඩා හොඳින් සිය රාජකාරිය ඉටුකරනු ඇතැයි ඕස්ට්‍රේලියානු නායකයා අපේක්ෂා කරයි.
තම වේගපන්දු යවන්නන් ගැන වැඩි බලාපොරොත්තු රඳවා ගනිමින් මෙවර එංගලන්තයට පැමිණි ස්ටීවන් ස්මිත් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගයේ දී ඔවුන් පන්දු යැවූ ආකාරය ගැන තෘප්තිමත් නොවන බව කීවේය. ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු තුරුම්පුව වන මිචෙල් ස්ටාක් එදා ක්‍රීඩා කළේ පසුගිය පෙබරවාරියෙන් පසුවය.
ජොස් හේස්ල්වුඩ් ද ඒ කාලසීමාව තුළ ක්‍රීඩා කළේ පුහුණු තරගයකට පමණි. එබැවින් හෙට තරගයේදී නැවත සුපුරුදු දස්කම් අතරට සේන්දු වීමට මේ දෙදෙනාම වග බලා ගනු ඇතැයි ස්මිත්ගේ අදහසයි.
අනිත් අතට බංග්ලාදේශය සිය පළමු තරගයෙන් සත්කාරක එංගලන්තය හමුවේ පරාජයට පත්වූවත් ඔවුන්ගේ පිතිකරුවන් කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කිරිම කණ්ඩායමේ සතුටට කරුණක් වී තිබේ. ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ලබාගත් සටන්කාමී ශතකය මත එංගලන්ත භූමියේදී ඕවර 50 ට ලකුණු 305ක් රැස් කිරීම සත්කාරකයෝ බලාපොරාත්තු වූ දෙයක් නොවීය. තරගයේ පරාජයට හේතු වූයේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට එම ලකුණු ප්‍රමාණය රැක ගැනීමට නොහැකිවීමය.
බංග්ලාදේශය තව දුරටත් ආසියාවේ ලිලිපුට්ටන් නොවන බව ඕස්ට්‍රේලියානුවෝ හොඳින්ම දනිති. ඇරත් සුදු පන්දුවෙන් ඔවුහු ඊටත් එහා දස්කම් දක්වනු ලැබූහ. එබැවින් හෙට තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන් ස්මිත්ගේ විශ්වාසය දිනා සිටින ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සමත්වුවහොත් එය පුදුම විය යුතු කරුණක් ද නොවනු ඇත.
අනිත් අතට මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට බංග්ලාදේශයට තවත් එක් පරාජයක් හොඳටෝම සෑහෙයි. එබැවින් හෙට තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ට ලොකු සටනක් දීමට සිදුවනු ඇතැයි විචාරකයෝ කියති.
මේ දෙපිලම මේ වන විටත් තරගයකට මුහුණ දී සිටින බැවින් දෙපිලම පසුවන්නේ මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඔවුනොවුන්ගේ පළමු තරගය ජයගැනීමේ අභිලාෂයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.