Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට

එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට

Nisanka Sandeepani - 2019 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය. වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාරය. 

සංගක්කාර මහතා ඔක්තෝබර් මස 1 වැනිදා සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ලෝකයේ රන් දෙවොල ලෙසින් සැලකෙන ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන්නේද මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි. 

මැයි මස 1 වැනිදා (ඊයේ) පැවැති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික  මහ සභා රැස්වීමේදී වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඞ් මහතා විසින් කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නිවේදනය කරන ලදි. 

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදකයන් පමණක් නොව, ක්‍රිකට් සම්ප්‍රදායේ නිර්මාතෘවරුන් සේ සැලකෙන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී) සමග කුමාර් සංගක්කාර මහතා දිගින් දිගටම සම්බන්ධව සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියදී පවා (වසර 2011 දී) කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනය කරමින් ශ්‍රී ලංකාවටත්, ලෝඞ්ස් ක්‍රීඩාංගණයට මෙන්ම මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයටත් ලෝ පතළ කීර්තියක් අත්කර දුන් සංගක්කාර 2012 වසරේ සිට එම ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකයකු ලෙස පිළි ගැණින. එම වසරේදීම මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවට එක්වූ සංගක්කාර දැනටත් එහි ප්‍රබල සාමාජිකයෙකි. 

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ සංගක්කාර අතර ඇත්තේ දිගු සම්බන්ධතාවකි. 

වසර 2002 දී එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ සංගක්කාර එම්.සී.සී. පිලට එරෙහිව චෙස්ටර්ෆීල්ඞ් හිදී ක්‍රීඩා කළේය. පසුව 2005 දී පැවැති සුනාමි ආධාර තරගයකදී අන්තර්ජාතික කණ්ඩායමට එරෙහිව සංගක්කාර එම්.සී.සී. පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෙම තරගයේදී ලද ආධාර මුදල් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් සඳහා වන එම්.සී.සී. මධ්‍යස්ථානය ඉදිකිරීමට ගුණ-ජය-සතුට පදනමට පරිත්‍යාග කෙරිණ. මෙම මධ්‍යස්ථානය සීනිගමදී ඉදිකරන ලදි. 

“එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම්කරනු ලැබීම අති විශාල ගෞරවයක්. මම ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් එම්.සී.සී. කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටතම ක්‍රීඩා සමාජයයි. ලෝකය පුරාම සිටින දෙනා ඒ දෙස බලා සිටිනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදී සහ ඉන් පිටතදීත් එම්.සී.සී. ක්‍රීඩා සමාජය අත්කරගෙන තිබෙන ප්‍රගතිය අති විශාලයි”

“ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් 2020 ඉතාමත් වැදගත් වසරක් වේවි. විශේෂයෙන්ම ලෝඞ්ස්හිදී. එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් ඒ සඳහා කිසියම් දායකත්වයක් දැක්වීමට ලැබීම පිළිබඳ මට ඇත්තේ අති විශාල සතුටක්” යයිද කුමාර් සංගක්කාර පැවසීය. 

ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ නම රැන්දූ ක්‍රීඩකයන්ගේ නාමපුවරුවට සංගක්කාර දෙවතාවක්ම ඇතුළත් වූයේය. 2014 දී ලෝඞ්ස් පිටියේ පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබාගත් සංගක්කාර පසුව පැවැති එක්දින තරගයකදී එංගලන්තයට එරෙහිව ලකුණු 112 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා වැඩ බාරගන්නා සංගක්කාර මහතාගේ ධූර කාලය 2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වේ. ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි දෙකකදී පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ලෝඞ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. 

“ක්‍රීඩා සමාජයක් හැටියට අපගේ සීමා මායිම් වඩාත් පුළුල් කරන්නත්, අන්තර්ජාතික කීර්තිනාමය වගා කරන්නත් බලාපොරොත්තු වන අවස්ථාවක, කුමාර් මෙම ආරාධනාව බාරගත්ත එක ගැන මා ඉතාම සතුටට පත්වෙනවා. එම්.සී.සී මීළඟ සභාපතිවරයා වීමේ ආරාධනාව ඔහු බාරගත්තේ මේ වසරේ ජනවාරි මාසයේදී” යයි පැවසූ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඞ් මහතා....

“ක්‍රිකට් පිටියේදී වගේම එයින් පිටතදීත් ඔහු අති විශිෂ්ට තැනැත්තෙක්. ඔහු මේ ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් විශිෂ්ට දෙයක් කරාවි. ලෝක කුසලාන තරගාවලිය වගේම අළු බඳුන තරගාවලියත් පැවැත්වෙන වර්ෂයේදී මීළඟ සභාපති තනතුරට නම්කරන ලද තැනැත්තා වශයෙන් ඔහු ලොකු දෙයක් කරාවි” යයි ද පැවසීය. 


අදහස් (0)

එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.