Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ 400 කඩයිම අබියස

ඉන්දියානුවෝ 400 කඩයිම අබියස

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 399 ක් ලබා සිටියහ. ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් (190) සහ චෙටේස්වාර් පුජාරා (නොදැවී 144) දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 253 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

ඉන්දියාව  - පළමු ඉනිම
ෂිකාර් ධවාන් - ඇ.මැතිව්ස් ප.නුවන් ප්‍රදීප් 190
අභිනව් මුකුන්ද්  - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 12
චෙටේස්වාර් පුජාරා - නොදැවී  144
විරාට් කෝලි - ඇ.දික්වැල්ල ප.නුවන් ප්‍රදීප් 3
අජින්ක්‍යා රහනේ  - නොදැවී 39
අතිරේක (පා.ල-4ල ව.ප.-4,  නිප-3) 11
එකතුව ඕවර 90කදී කඩුලු 3 ක් දැවී     399
කඩුලු වැටීම 
1-27(මුකුන්ද්), 2-280(ධවාන්). 3-286(කෝලි)
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ
හර්දික් පාණ්ඩ්‍යා, රිදිමන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, උමේෂ් යාදව් සහ මොහොමඩ් සාමි
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 18-1-64-3  
ළහිරු කුමාර 16-0-95-0  
ඩිල්රුවන් පෙරේරා 25-1-103-0  
රංගන හේරත් 24-4-92-0  
ධනුෂ්ක ගුණතිලක 7-0-41-0  

පැය හතරක දිගු සම්බන්ධතාවකට පසුව විනාඩි 15 ක් ඇතුළතදී ෂිකාර් ධවාන් සහ ඉන්දීය නායක විරාට් කෝලි දෙදෙනාම දැවී ගියත් පුජාරා සමග එක්වූ අජින්ක්‍යා රහනේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය පිල ලකුණු 400 කඩයිම අබියසටම කැඳවාගෙන ආහ. නිතරම දිගු ඉනිම කරා යාම පුරුද්දක් කරගෙන සිටින පුජාරා මේ සහභාගි වන්නේ සිය 49 වැනි ටෙස්ට් තරගයටයි. ටෙස්ට් ඉනිම 82 කට මුහණ දී සිටින මෙම දකුණත් පිතිකරුවා ඒවායින් ඉනිම පහකදීම ලකුණු 150 සීමාව පසුකර ගොස් තිබෙන අතර එයින් අවස්ථා තුනකදී ද්විත්ව ශතක ලබා තිබේ.

තැන්පත් ලීලාවෙන් පන්දුවට මුහුණ දෙන පුජාරා දිනය අවසන් වන විට විනාඩි 351 ක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 246 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාව කරා යවා තිබිණ.

ලකුණු 31 ක් ලබා සිටියදී දෙන ලද පහසු උඩපන්දුව ස්ලිප් හි සිටි අසේල ගුණරත්න වෙතින් ගිළිහී යාම නිසා අනගි ප්‍රයෝජන ගත් ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්තා කළේය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මිට වසර දෙකකට ඉහතදීත් ලකුණු 134 ක් ලබාගත් ධවාන් කළ අතිධාවනකාරී පිතිහරඹය හේතුවෙන් තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඉන්දිය පිල කඩුලු 2 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරුවා වශයෙන් ඉන්දීය ටෙස්ට් පිළේ පළමු තේරීම වූ මුරලි විජේ ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් පිලට එක්වීමේ අවස්ථාව ධවාන්ට ලැබිණ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් වමත් පිතිකරුවා බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහණ දුන්නේ තම සීමාවෙන් ඉවතට පැමිණ ඩ්‍රයිව් පහර කරා යාමෙනි. නැතහොත් ස්වීප් පහර උපයෝගී කරගනිමිනි.

කිසිදු අනුකම්පාවකින් තොරවම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර දුන් ඉන්දීය පිතිකරුවෝ දිවා ආහාරයත් තේ පානයත් අතර යැවුණු ඕවර 28 දී ලකුණු 167 ක් ලබාගත්තේ ඕවරයකදී ලකුණු 6 කට ආසන්න වේගයක් පවත්වාගෙන යමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් බලන කල මෙහි ඇති අවදානම වන්නේ වඩාත් වේගයෙන් ලකුණු ලබාගනිමින් පළමු දින දෙකේදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කරගතහොත් එමගින් ශ්‍රී ලංකා පිල පීඩනය පත්කිරීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබීමයි.

රංගන හේරත් ඉලක්ක කරමින් පහර දුන් ඔව්හු හේරත් විසින් තේ පානයට පෙර යවන ලද ඕවර 13 දී ලකුණු 66 ක් උදුරා ගත් අතර කෝඩුකාර ධනුෂ්ක ගුණතිලකගේ ඕවර 4 න් ලකුණු 33 ක් ලබාගත්හ. අසේල ගුණරත්න තුවාල ලබා ඉවත්ව යාම හේතුවෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයකුගේ අඩුවකින් යුතුව මෙම තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.

ධවාන්ගේ පිත්තෙන් වැරෙන් වැදුණු පහර කිහිපයකදීම පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියේ පන්දු රකින්නන්ට හැරෙන්නට වත් කාලය ඉතිරි නොකරමිනි. තම ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදී ගැසූ මුරණ්ඩු පහරක් නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පහසු උඩපන්දුවක් දෙමින් ෂිකාර් ධවාන් දැවී ගියේ විනාඩි 236 ක් තිස්සේ මුහුණ දුන් පන්දු 168 කින් 31 ක් හතරේ සීමාවට යැවීමෙන් පසුවය. පිතිකරුවන්ට කෙළිමඬලක් වන් තණතීරුවකදී ලැබුණු වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දීය ආරම්භක පිතිකරුවා එතැන් සිට ඉන්දීය ඉනිමට එකතු කළ ලකුණු සංඛ්‍යාව 159 කි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ධනුෂ්ක ගුණතිලකට අද තරගයේදී ටෙස්ට් හිස්වැස්ම පිරිනැමිණ. ගුණතිලක ශ්‍රී ලංකාවේ 140 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වෙයි.  තවදුරටත් පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් සමගින් ටෙස්ට් තරගයට යාමට තීරණය කළ ශ්‍රී ලංකා තේරීම් කමිටුව මෙම තරගයේදීත් සුපුරුදු දඟ පන්දු යවන්නන් දෙදෙනා වෙත විශ්වාසය තැබූ තරම කොතෙක්ද යත් ඕවර 80 ක් අවසානයේදී දෙවැනි නව පන්දුව ගැනීමෙන් පසුව 82 වැනි ඕවරය යැවීම බාරගත්තේද නායක රංගන හේරත්මය.

ඉන්දීය කණ්ඩායමෙ සිටින ප්‍රබලතම පිතිකරුවකු වන රෝහිත් ෂර්මා මෙම තරගයට ක්‍රීඩා නොකරයි. ඔහුගේ ස්ථානය හර්දික් පාණ්ඩ්‍යාට පිරිනමා ඇත්තේ පාණ්ඩ්‍යා සතු පන්දු යැවීමේ හැකියාව හේතුවෙනි.
“පාණ්ඩ්‍යා හොඳ දස්කම් පෙන්වමින් සිටිනවා. ඔහු යන යන කඩුල්ලක් දෙකක් දවාගැනීමට සමත් වීම කණ්ඩායමේ සමබරතාව රඳවා ගැනීමට මහත්සේ උපකාරී වී තිබෙනවා” යයි ඊයේ සවස විරාට් කෝලි කියා සටියේය.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි

 


අදහස් (0)

ඉන්දියානුවෝ 400 කඩයිම අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.