| ඉන්දියාව | |||
| රෝහිත් ශර්මා - ඇ. තිසර ප. මාලිංග | 78 | ||
| ශීකර් ධාවන් - ඇ. මෙන්ඩිස් ප. මාලිංග | 125 | ||
| විරාත් කෝලී - ඇ. දික්වැල්ල ප. ප්‍රදීප් | 0 | ||
| යුවරාජ් සිං - ප. ගුණරත්න | 7 | ||
| මහේන්ද්‍ර සිං දෝනි - ඇ. චන්දිමාල් ප.තිසර | 63 | ||
| හර්දික් පාණ්ඩ්‍යා - ඇ. කුසල් ජනිත් ප. ලක්මාල් | 9 | ||
| උමේෂ් යාදව් - නොදැවී | 25 | ||
| රවින්ද්‍ර ජඩේජා - නොදැවී | 0 | ||
| අතිරේක (පා-4, ව-10) | 14 | ||
| එකතුව ඕවර 50කදී කඩුලු 6 ක් දැවී | 321 | ||
| කඩුලු වැටීම | |||
| 1-138 (ශර්මා), 2-139 (කෝලී), 3-179 (යුවරාජ්), 4-261 (ධාවන්), 5-278 (පාණ්ඩ්‍යා), 6-307 (දෝනි) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
|
කේදර් ජාදව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා |
|||
| පන්දු යැවීම | |||
| ලසිත් මාලිංග | 10-0-70-2 | ව-1 | |
| සුරංග ලක්මාල් | 10-1-72-1 | ව-3 | |
| නුවන් ප්‍රදීප් | 10-0-73-1 | ව-2 | |
| තිසර පෙරේරා | 9-0-54-1 | ||
| ධනුෂ්ක ගුණතිලක | 8-0-41-0 | ||
| අසේල ගුණරත්න | 3-0-7-1 | ||
| ශ්‍රී ලංකාව | |||
| නිරෝෂන් දික්වැල්ල - ඇ.ජඩේජා ප. කුමාර් | 7 | ||
| ධනුෂ්ක ගුණතිලක - දුවද්දී දැවී ගියා | 76 | ||
| කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා | 89 | ||
| කුසල් ජනිත් - පිටියෙන් ඉවත් වුණා | 47 | ||
| ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී | 52 | ||
| අසේල ගුණරත්න - නොදැවී | 34 | ||
| අතිරේක (පා-11, ව-5, නි-1) | 17 | ||
| එකතුව ඕවර 48.4 කදී කඩුලු 3 ක් දැවී | 322 | ||
| කඩුලු වැටීම | |||
| 1-11 (දික්වැල්ල), 2-170 (ගුණතිලක), 3-196 (මෙන්ඩිස්) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් | |||
| පන්දු යැවීම | |||
| බුවනේෂ්වර් කුමාර් | 10-0-54-1 | ව-1 | |
| උමේෂ් යාදව් | 9.4-0-67-0 | ව-1 | |
| ජස්ප්‍රීට් බුම්රා | 10-0-52-0 | නි-1 | |
| හර්දික් පාණ්ඩ්‍යා | 7-1-51-0 | ව-1 | |
| රවින්ද්‍ර ජඩේජා | 6-0-52-0 | ව-1 | |
| කේදර් ජාදව් | 3-0-18-0 | ව-1 | |
| විරාත් කෝලී | 3-0-17-0 | ||
ඉන්දියාවට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තවදුරටත් රැඳි සිටිමේ වරම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 322 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කරගත්හ.
එංගලන්තයට එරෙහිව 2007 වසරේදී ලන්ඩන් ඕවල් පිටියේ පැවැති තරගයකදී ලකුණු 317 ක ඉලක්කයක් හඹාගොස් ජයගනිමින් ඉන්දියාව මින් පෙර තබා තිබූ වාර්තාව බිඳ හෙළීමටද ශ්‍රී ලංකා කණඩායම අද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ ඉතිරි තරග දෙක අර්ධ අවසන් පූර්ව තරග දෙකක ස්වරූපයක් ගෙන තිබේ. ඒ අනුව ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් සහ ලබන සඳුදා (12 වැනිදා) පැවැත්වෙන පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය.
කුසල් පෙරේරා පිටියෙන් ඉවත් වීමෙන් පසුව පන්දුවට පහරදීමට පැමිණි අසේල ගුණරත්න සමග එක්ව වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදි ලකුණු 51 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45 කදී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළ අතර අසේල ගුණරත්න පන්දු 21 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 34 ක් රැස් කළේය.
මැතිව්ස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා පන්දු 62 කදී ලකුණු 75 ක් සම්බන්ධතාවයක් ගොඩනගා සිටියදී පාදයේ ආබාධයකට ලක්විම හේතුවෙන් කුසල් පෙරේරාට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. පිටියෙන් ඉවත්ව යන විට ඔහු පන්දු 44 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියේය.
පන්දු 93 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 89 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට රැගෙන ආ කුසල් මෙන්ඩිස්, දිනයේ දෙවැනි අවාසනාවන්ත දුවද්දී දැවීයාමට ගොදුරු වෙමින් පිටියෙන් විය.
ඉනිම ආරම්භයේදී ඉතා සෙමින් පන්දුවට පහරදුන්නද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 139 කදී ලකුණු 159 ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැගූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමූහ. අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසු වු ධනුෂ්ක ගුණතිලක පන්දු 72 කදී ලකුණු 76 ක් රැස්කළ අතර ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් රැස්කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා වන ලසිත් මාලිංග (70/2), සුරංග ලක්මාල් (72/1) සහ නුවන් ප්‍රදීප් (73/1) දැඩි ලෙස පහර කෑමකට ලක්වීම හේතුවෙන් ඉන්දිය පිතිකරුවෝ අපහසුතාවකින් තොරවම ලකුණු 300 කඩයිම පසුකර ගියහ.
ශීකර් ධාවන් පන්දු 112 කදී සිය 10 වන එක්දින ශතකය ලබාගත් අතර ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 128 කදි ලකුණු 125 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය. හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සිය ඉනිම සැරසු ධාවන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි සමග එක්ව පන්දු 64 කදි ලකුණු 82 ක් වේගවත් සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. මෙම තරගයට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් වරට ක්‍රීඩා කළ තරග 5 දී ලකුණු 445 ක් (113, 94, 91, 79, 68) රැස්කිරීමට ධාවන් සමත්ව සිටියේය.
ඉන්දීය කණ්ඩායම ලකුණු 300 සිමාවෙන් ඔබ්බට රැගෙන යෑම සදහා අනගි මෙහෙයක් ඉටු කළ මහේන්ද්‍ර සිං දෝනි, පන්දු 52 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 63 ක් රැස්කිරීමට සමත් විය. මුහුණ දුන් දෙවැනි පන්දුවේදී මහේන්ද්‍ර සිං දෝනි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනිමට අසේල ගුණරත්න, විනිසුරු රිචඞ් කෙට්ල්බරර් මහතාගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටිමට නායක ඇන්ජලෝ මැතිව්ස් පියවර ගත්තේය. ප්‍රධාන විනිසුරුගේ තීරණය සමග එකඟ වූ තෙවැනි විනිසුරු මාරියස් එරැස්මස් මහතාද දෝනි නොදැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේය.
අසේල ගුණරත්න එවූ යෝකර් පන්දුවකට ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළද නොසිතූ අයුරින් පන්දුව කඩුල්ල සොයා යෑම හේතුවෙන් ලකුණු හතක් ලබා සිටි යුවරාජ් සිංට පිටියෙන් ඉවත් වීමට සිදු විය. නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය විරාට් කෝලි, අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන ප්‍රධාන පෙලේ තරගාවලියකදී (ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන සහ විස්සයි20 ලෝක කුසලාන) ලකුණු ලබාගැනීමට ප්‍රථම ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ පළමු අවස්ථාව මෙය විය.
ශීකාර් ධාවන් සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 149 කදි ලකුණු 138 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රෝහිත් ශර්මා දැවීයන විට ලකුණු 78 ක් රැස්කර සිටියේය. ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය ශර්මා පන්දු 79 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ඇතුළත් විය. පිට පිට තරග තුනකදී ශතක සම්බන්ධතා ගොඩනැගූ පළමු ඉන්දිය පිතිකරුවන් දෙදෙනා විමට රෝහිත් ශර්මා සහ ශීකර් ධාවන් අද සමත් වූහ. මීට පෙර ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 123 ක සහ පාකිස්තානයට එරෙහිව ලකුණු 136 ක සම්බන්ධතාවන් පැවැත්විමට ශර්මා සහ ධාවන් සමත්ව සිටියහ.
තරග 150 කට ක්‍රීඩාකරමින් කණ්ඩායම් දෙකක් අතර පවත්වා ඇති වැඩිම එක්දින තරග සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමත්වි ඇත. ශ්‍රී ලංකාව තරග 55 ක් ජයගෙන තරග 83 ක් පරාජයට පත්වී ඇත. එක් තරගයක ලකුණු සමවී ඇති අතර තරග 11 ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ. එම වාර්තාවේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග 147 කදී තරග වැදී ඇත.
(ඡායාරූප - රොයිටර් සහ ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
ශ්‍රී ලංකා - ඉන්දීය ශූරයන්ගේ කුසලාන තරගයේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.