Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉතිරිව ඇති එකම අවස්ථාව

ඉතිරිව ඇති එකම අවස්ථාව

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරගාවලියේදී 3-0 ක පරාජයක් ශ්‍රී ලංකා පිලට උරුම කර දුන් නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම විස්සයි-20 තරගය හෙට (11 වැනිදා) නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. නවසීලන්තයේ වේලාවෙන් සවස 6.00 ට ආරම්භ වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 11.30 ට ආරම්භ වේ. 

එංගලන්තය හමුවේ මුහුණ දුන් පරාජයන් වැලකට පසුව නවසීලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීත් පරාජයම උරුම කරගත්තේය. දැන් ඉතිරිව ඇත්තේ විස්සයි-20 තනි තරගයක් පමණි. මෙම තරගය හෝ ජයගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය රැකගැනීම නායක ලසිත් මාලිංග ඉදිරියේ ඇති අභියෝගය වෙයි. 

ශ්‍රී ලංකා පිලට ඇත්තේ බලාපොරොත්තු දෙකක් පමණි. එනම් අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරග 10 න් 9 ක්ම පරාජය වී සිටින නවසීලන්ත පිල තවත් වරක් අසාර්ථක විය හැකිබවට තිබෙන ප්‍රාර්ථනාවයි. අනෙක් බලාපරොත්තුව වන්නේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විනාශකාරයා වූ ජේම්ස් නීෂම් තුවාල ලබා සිටීමයි. 

එක්දින තරගාවලියේ තරග තුනකදී ලකුණු 123 ක් ලබාගත් නීෂම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ  ලකුණු ලබාගත්තේ පන්දු 100 කට ලකුණු 219.64 ක ප්‍රවේගයකිනි. එහිදී එකකට ලකුණු 20 ක් පමණක් දෙමින් කඩුලු 6 ක් දවාගැනීමටද නීෂම් සමත් විය. එවන් ක්‍රීඩකයකු ප්‍රතිවාදී පිලේ නොසිටීම සහනයකි. 

කණ්ඩායමේ නිත්‍ය නායකයා වන කේන් විලියම්සන් සහ ටේ‍රන්ට් බෝල්ට් දෙදෙනාවම විවේක ගන්වා නවසීලන්ත පිලේ නායකත්වය ටිම් සවුති වෙත පවරා ඇතත් මාටන් ගප්ටිල්, කොලින් මුන්රෝ සහ රොස් ටේලර් වැනි අධිවේගී පිතිකරුවෝ නවසීලන්ත පිලට එක්ව සිටිති. 

කාසියේ අනෙක් පැත්ත වන්නේ ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන පිටියේදී පවතින කෙටි හතරේ සීමාවයි. පන්දු යවන්නාගේ හිසට ඉහළින් යවන පන්දුව හතරේ සීමාවට එපිටින් පතිත වීමේ වැඩි ඉඩක් පවතී. පසුගිය නවසීලන්ත ගිම්හානයේ පැවැති විස්සයි-20 තරගයකදී ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් ලකුණු 245 ක වාර්තාගත හඹා යාමක නිරත වූයේද මෙම ක්‍රීඩාංගණයේදීය. 

නවසීලන්තයේ මෑත කාලීන විස්සයි-20 තරග වාර්තාව එතරම් අලංකාර නොවූවත් ශ්‍රී ලංකාව නම් ගෙවී ගිය 2018 වසරේදී සහභාගි වූ විස්සයි-20 තරග 8  කින් 4 ක් ජයගෙන තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම සීමිත ඕවර නායකයා වන ලසිත් මාලිංගට ඇත්තේත් අසීරු අභියෝගයකි. 

අවසන් එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයත් සැක සහිතය. කෙසේ වෙතත් ඉවසීමෙන් බලා සිටිය යුතු කාරණය වන්නේ මෙවන් කෙටි හතරේ සීමාවක් සහිත ක්‍රීඩාංගණයකදී ලක්ෂාන් සඳකැන්ට අවස්ථාවක් ලැබේද නැද්ද යන්නයි. 


ශ්‍රී ලංකා සංචිතය 
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ සධීර සමරවික්‍රම

නවසීලන්ත සංචිතය 
ටිම් සවුති (නායක), ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලෙයින්, රොස් ටේලර්, කොලින් මුන්රෝ, ඩග් බ්‍රේස්වෙල්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් පිලිප්ස්, සෙත් රැන්ස්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සෙයිෆර්ට් සහ ඉෂ් සෝධි

 


අදහස් (0)

ඉතිරිව ඇති එකම අවස්ථාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.