Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අවිශ්කත් අධිකරණයට යන්න යයි

අවිශ්කත් අධිකරණයට යන්න යයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු කරුණු විමසීමකින් තොරව තම සේවය අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ හිටපු පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පැවසීය.

ඩුබායිහිදී 2017 වසරේ දෙසැම්බර් මස පැවැති ටී-10 තරගාවලියේදී තරග පාවාදීමට අවිෂ්ක ගුණවර්ධන සම්බන්ධ යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවිශ්ක අනිවාර්ය නිවාඩු යවන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට අවිෂ්ක ගුණවර්ධන සහ ඔහුගේ නීතිඥවරයා වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරුවන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අවිෂ්ක ගුණවර්ධන පැවසුවේ තරග පාවාදීමට සම්බන්ධ යැයි කියන තොරතුරු තමන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත වාර්තා නොකිරීම දූෂිත ක්‍රියාවක් බවට චෝදනා එල්ල කර ඇති බවයි.
“එම චෝදනා පදනම් කරගෙන, මගෙන් කිසිදු වීමසීමක් නොකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග කීපයක් ගෙන තිබෙනවා”
“වයස අවුරුදු 11 යේදී ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ මා අද වනතුරු කිසිවිටකත් නීතිවිරෝධී හෝ දුරාචාර ක්‍රියාවක් කිරීමට නොසිතමි. පුහුණුකරුවකු ලෙසත් සාධාරණව කටයුතු කර තිබේ”

“මම ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස වසර 12 ක් පුරා පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ගේ සිට ‘ඒ’ කණ්ඩායම දක්වා ක්‍රීඩකයන් පුහුණු කර තිබේ. මා කිසිඳු නීතිවිරෝධී හෝ හානිකාරී දෙයකට සම්බන්ධ වී නොමැති හෙයින් පසුගිය දින කීපය වන තෙක් චෝදනා එල්ල වී නෑ”

“මෙම චෝදනාව පදනම් වන්නේ තනි ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් සභාවට ඉදිරිපත් කළ ඊනියා චෝදනාවක්. ඔහු නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැතිවීමත් විනය හේතූන් නිසා කීපවිටකදී කණ්ඩායමෙන් ඉවත්කිරීමට මට සිදුවිය. මෙම පදනම් විරහිත චෝදනාවට එය හේතුවී තිබෙනවා”

“මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව මාගෙන් ප්‍රශ්න කළ විට මා වාහාම මාගේ ජංගම දුකථනය සහ බැංකු ප්‍රකාශ ඉදිරිපත් කළ අතර සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වීය. එයට හේතු වූයේ මට සැඟවීමට කිසිවක් නොතිබීමය. එසේ වුවද මට වැරදිකරුවීමට පෙරම දඩුවම් දී තිබේ” යැයි අවිෂ්ක ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසුවේ මෙම සියලුම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට යෑමට සූදානමින් සිටින බවයි. ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.   

“අවිෂ්කට චෝදනා දෙක ඉදිරිපත් කරලා තියෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන්. ඔහු පුහුණුකරුවකු ලෙස ගිවිසුම තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟයි. එය ස්වාධීන ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සී. කියන ජාත්‍යන්තර ආයතනය එක්ක බැදී සිටිනවා”

“ඕනෑම කෙනෙකුගේ සේවය සම්බන්ධයෙන් චෝදනා තියෙනවා නම් එයට පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. මේක කිසිම දෙයක් නැතුව අයි.සී.සී. දුන්න චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් සේවය අත්හිටුවීම නෛයිතිකද?”

“අයි.සී.සී. සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමට අවිෂ්ක ගුණවර්ධන බැදෙන්නෙ කොහොමද යන්නත් අපි අධිකරණයෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා”

“අයි.සී.සී. අවිෂ්කට චෝදනා ඉදිරිපත් කරන්නේ 2017 වසරේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය (ඊ.සී.බී.) පැවැත්වූ තරගාවලියක නීති රීති කඩ කළ බවටයි. පුහුණුකරුවකු ලෙස ඊ.සී.බී. රීතියට අවිෂ්ක බැඳෙන්නේ කෙසේදැයි අපි විමසන්න සූදානම්” යැයි වර්ණසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් චෝදනා ලබා තහනමට ලක්ව සිටින වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවකු වන නුවන් සොයිසා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

 


අදහස් (0)

අවිශ්කත් අධිකරණයට යන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.