Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අතට අත දීම වෙනුවට හිසෙන් ඇනීම

අතට අත දීම වෙනුවට හිසෙන් ඇනීම

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ තමන්ට හිසෙන් ඇන්නේ රිදවීමට නොව මිත්‍ර ලීලාවෙන් එකඟතාව ප්‍රකාශ කිරීමට බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් කියයි. අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නිමාවේ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් එසේ පවසන විට එතැන සිටි ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භයේදීම පර්ත්හි අවන්හලදී ඇතිවූ මෙම ‘හිසෙන් ඇනීමේ’ සිදුවීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණ. පර්හි පැවැති පුහුණු තරගයකින් පසුව ක්‍රීඩයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ අවන්හලේදී ඇතිවූ මෙම සිදුවීම කරුණු විකෘති කරමින් වාර්තා කරන ලද එකක් බව ක්‍රීඩකයෝ දෙදෙනාම කියති.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද බවත් ක්‍රීඩකයෝ කියා සිටියහ.
“මාත් ජොනීත් ඉතා මිත්‍ර ලීලාවෙන් සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙලාවේ එයා මට එකඟතාව පළකරමින් සුහදතාව දක්වා සිටියේ හිසෙන් ඇනලා”

“මා බලාපොරොත්තු වුණේ අතට අත දීමක්. ඒ වගේ සුහදතාව දැක්වීමක් මා බලාපොරොත්තු වුණේ නෑ. ඒත් අපි දිගටම සුහදව කතාබස් කළා” යයි බැන්ක්‍රොෆ්ට් පවසද්දී මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් සිටි ස්ටීවන් ස්මිත් මහ හඬින් සිනා සුනේය.

බෙයාර්ස්ටෝ කීවේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් එය තත්ත්වය විකෘති කරමින් උලුප්පා දක්වන දෙයක් බවයි.

“අපි අවන්හලේ හිටියේ හොඳ විනෝදයෙන්. අපි කොහොමත් විනෝදෙන් තමා ඉන්නේ. එතැන කිසිම විරෝධයක් හෝ එදිරිවාදීකමක් තිබුණේ නෑ....කොහොම වුණත් දැන් අපට එක් අමතක කරලා දාලා ඉදිරියට යන්න පුළුවන්” යයි එංගලන්ත කඩුලු රකින්නා පැවසීය.

පර්ත්හි පැවැති පුහුණු තරගය අතරතුරේදී ක්‍රීඩකයන්ට නීති රීති දමා නොතිබූ බවත් ඔවුන්ට නිදහසේ සිටීමට අවසර තිබුණු බවත් කී එංගලන්ත පිලේ පුහුණුකරු ටේ‍රවර් බේලිස් මහතා (ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි)  ජොනී බෙයාර්ස්ටෝ කිසිම ආකාරයේ නීති විරෝධී කටයුත්තක් කර නැති බවද පැවසීය.

මේ අතර එංගලන්ත නායක ජෝ රූට් කියා සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෙම සිද්ධිය ක්‍රීඩාංගණයටත් ගෙන ආ බවයි.

“ඔවුන් ඒක පිට්ටනියටත් ගෙනාවා. ඒ ගැන ඇත්තටම කණගාටුයි. ඒ වගේ අවස්ථා ඔවුන්ට නොදෙන්න අපි පරෙස්සම් වෙන්න ඕනෑ...ඇරත් ඕවා මේ කොල්ලන්ගේ වැඩ” යයි එංගලන්ත නායකයා කීවේය. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කියා සිටියේ ජොනී බෙයාර්ස්ටෝ පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ අවධානය බිඳ දැමීම සඳහා තමන් එය යොදාගත් බවයි.

ජොනී බෙයාර්ස්ටෝ දැවී ගියේ තර්ඞ් මෑන් ස්ථානයට දුන් උඩපන්දුවකිනි.

“මා උත්සාහ කළේ ජොනීගේ ඔලුව අවුල් කරන්නයි. එයා තර්ඞ් මෑන් ස්ථානයට උඩ පන්දුවක් දුන්න. ඒක හොඳ පහරක් නෙමේ. දුර්වල පහරක්....මා හිතන්නේ අපේ උපක්‍රමය හරිගියා” යයිද ස්මිත් පැවසීය.

වසර හතරකට පෙර පැවැති අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිලේ වත්මන් උප නායක ඬේවිඞ් වෝනර් අවන්හලකදී ජෝ රූට්ට පහර දීම නිසා ඔහුට ටෙස්ට් තරග දෙකක් අහිමි විය.

අළු බඳුන තරගාවලියක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම සත්කාරක රටේ මාධ්‍ය විසින් සංචාරයකයන්ගේ විවිධ දුර්වලතා අල්ලා ගනිමින් ඔවුන් අසීරුතාවට පත්වන ආකාරයේ වාර්තා පළකිරීම වසර ගණනාවක සිට සිදුවන්නකි.


- 036

 


අදහස් (0)

අතට අත දීම වෙනුවට හිසෙන් ඇනීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.